Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ හඹා ගොස් ජයගනිති

ඉන්දීය ක්‍රීඩකයෝ හඹා ගොස් ජයගනිති

editorial - 2020 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ශ්‍රෙයාස් අයියර් (නොදැවී 58) සහ මනීෂ් පාණ්ඬේ (නොදැවී 14) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 62 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

තරගයේ වීරයා බවට පත්වූ අයියර්, පන්දු 29 කදී වාර්තා වූ සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සැරසූ අතර පාණ්ඬේගේ ඉනිම හයේ පහරකින් සමන්විත විය.

ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර එතැන් පටන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ලොකේෂ් රාහුල් (56) සහ නායක විරාට් කෝලි (45) සමත් විය. පන්දු 27 කදී ලබාගත් රාහුල්ගේ 10 වැනි විස්සයි20 අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 32 කදී වාර්තා වූ කෝලිගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකණු 203 ක් රැස්කළ අතර එහිදී ආරම්භක පිතිකරු කොලින් මුන්රෝ (59), නායක කේන් විලියම්සන් (51) සහ රොස් ටේලර් (නොදැවී 54) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

මාටින් ගප්ටිල් (30) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගු මුන්රේ නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර පන්දු 42 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

පන්දු 26 කට මුහුණදුන් විලියම්සන් සිය 10 වැනි විස්සයි20 අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සැරසූ අතර පන්දු 27 කදී මුහුණදෙමින් නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ටේලර්, සිය 6 වැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත්තේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 5 කට 203
(මාටින් ගප්ටිල් 30, කොලින් මුන්රෝ 59, කේන් විලියම්සන් 51, රොස් ටේලර් නොදැවී 54)

ඉන්දියාව - ඕවර 19 කදී කඩුලු 4 කට 204
(ලොකේෂ් රාහුල් 56, විරාට් කෝලි 45, ශ්‍රෙයාස් අයියර් නොදැවී 58, ශවම් ඩූබේ 13, මනීෂ් පාණ්ඩේ නොදැවී 14, ඉෂ් සෝධි 36/2)


 

-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ හඹා ගොස් ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.