Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව ජය පෙනෙන මානයේ

ඉන්දියාව ජය පෙනෙන මානයේ

editorial - 2019 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දීප්තිමත් ශතකයකින් රෝස පැහැ පන්දුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ඉන්දීය නායකයාගේ පිතිහරඹය නිසා කල්වේලා ඇතිවම තරගයේ පාලනය අතට ගත් ඉන්දියානුවෝ කොල්කටාහිදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ජය පෙනෙන මානයට ඇවිදින් සිටිති. තරගයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) රාත්‍රියේ ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 152 කට කඩුලු 6 ක් අහිමි කරගෙන තිබිණ.

මුල් ඉනිමේදී ලකුණු 106 කට දැවී ගිය බංග්ලාදේශ පිලට පිළිතුරු ලෙසින් කඩුලු 9 ක් දැවී ලකුණු 347 ක් ලබාගත් ඉන්දියානුවෝ ලකුණු 241 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. තරගයේ දෙවැනි දිනය නිමා වීමටත් මත්තෙන් කණ්ඩායමේ හොඳම පිතිකරුවන් හයදෙනා අහිමි කරගත් බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ අවදානමට මුහුණ දී සිටී.

ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 89 ක් ලබාගත යුතුව තිබේ. එහෙත් බංග්ලාද්ශය සතුව ඇත්තේ අවසන් කඩුලු 4 පමණි. තරග 2 කින් සමන්විත තරගාවලියේ පළමු තරගය ජයගත් ඉන්දියාව වැඩි වෙහෙස මහන්සියකින් තොරවම 2-0 ක තරගාවලි ජයක් ලැබීමේ අපේක්‍ෂාවෙන් පසුවෙයි.

ඉන්දීය පිල සිය ඉනිම අත්හිටුවීමෙන් පසුව බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවෝ එකා පසුපස එකා ආපසු ක්‍රීඩාගාරයට ගියහ. පළමු පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 14 ක් ඇතුළතදී ක්‍රීඩාගාරයේ අසුන් ගත් අතර මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 59) සහ මහමදුල්ලා එක්ව ලකුණු සංඛ්‍යාව 82 ක් දක්වා ඇදගෙන ගියහ. එහෙත් මහමදුල්ලා තුවාල ලබා පිටියෙන් ඉවත් වීමෙන් පසුව මුෂ්ෆිකුර් රහීම් තනිව සටනක නිරත වූයේය.
මෙම තරගාවලියේ ජය, ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේදී එක දිගට ලබාගන්නා 12 වැනි ටෙස්ට් තරගාවලි ජය වනු ඇත.

බංග්ලාදේශ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකළ විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක් එක් කළහ. අද දිනයේදී තමන්ගේ 27 වැනි ටෙස්ට් ශතකය ලබාගත් විරාට් කෝලි, නායකයකු වශයෙන් ලබාගත් 20 වැනි ටෙස්ට් ශතකය එය විය.

ශතකය ලබාගැනීමෙන් පසුව සිය හිස් ආවරණය ගැලවූ විරාට් කෝලි නරඹන්නන්ගේ අත්පොළසන් සහ ආචාරය පිළිගත් නමුත් ඔහු නියමාකාරයෙන් සිය ශතකයේ සතුට සැමරූයේ අබු ජායිඞ් පිට පිටම යැවූ පන්දු 4 ක් හතරේ සීමාවට පිටත්කර හරිමිනි. කිසිම තර්ජනයකින් තොරව ලකුණු 150 කඩයිම කරා යමින් සිටි කෝලිගේ ඉනිම නතර වූයේ අතිරේක ක්‍රීඩක තයිජුල් ඉස්ලාම්ගේ විස්මිත පන්දු රැකීමකිනි.


බංග්ලාදේශය - පළමු ඉනිම 106
(ශද්මන් ඉස්ලාම් 29, ලිටන් දාස් 24, නයීම් හසන් 19, ඉෂාන්ත් ෂර්මා 22/5, උමේෂ් යාදව් 29/3, මොහොසඞ් ෂාමි 36/2)

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 9 ට 347
(මයන්ක් අග්‍රවාල් 14, රෝහිත් ෂර්මා 21, චෙටේස්වාර් පුජාරා 55, විරාට් කෝලි 136, අජින්ක්‍යා රහනේ 51, රවීන්ද්‍ර ජදේජා 12, රිදිමන් සහා නොදැවී 17, අල් අමීන් හුසේන් 85/3, අබු ජායිඞ් 77/2, එබාදත් හොසේන් 91/3)

බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 152
(මුෂ්ෆිකුර් රහීම් නොදැවී 59, මහමදුල්ලා 39, මෙහෙදි හසන් මිරාස් 15, ඉෂාන්ත් ෂර්මා 39/4, උමේෂ් යාදව් 40/2)

 


අදහස් (0)

ඉන්දියාව ජය පෙනෙන මානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.