Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අසාර් අලී හුදෙකලා සටනක

අසාර් අලී හුදෙකලා සටනක

editorial - 2020 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සදම්ප්ටන්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (23 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ලකුණු 158 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි පාකිස්තානය, ප්‍රතිවාදී එංගලන්තය වඩා ලකුණු 425 ක් පසුපසින් සිටියේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් පන්දුවට පහරදුන් නායක අසාර් අලී, හතරේ පහර 12 ක් සමග ලකුණු 82 ක් ලබා තේ පානය වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. මුල් කඩුලු 5 ලකුණු 75 ක් තුළ බිඳවැටුණද, කඩුලු රකින ක්‍රීඩක මොහොමඞ් රිස්වාන් (22) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ අසාර්, පාකිස්තාන කණ්ඩායමට තරමක අස්වැසිල්ලක් ලබාදුන්නේය.

ඉනිම ආරම්භයේදීම පාකිස්තාන පිතිකරුවන් අසරණ කළ ජේම්ස් ඇන්ඩසන්, ඩොමිනික් සිබ්ලිගේ සහ නායක ජෝ රූට්ගේ සහායද ඇතිව ලකුණු 30 ක් වන වට මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනෙක්ම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. පාකිස්තානයේ මහත් බලාපොරොත්තුව වූ බාබර් අසාම්ද දැවී ගිය පිතිකරුවන් අතර විය.

සැක් ක්‍රෝලිගේ ද්විත්ව ශතකයත්, කඩුලු රකින්නා වූ ජොස් බට්ලර්ගේ වික්‍රමාන්විත ශතකයත් හේතුවෙන් පළමු ඉනිම සඳහා කඩුලු ලකුණු කඩුලු 8 ක් දැවී ලකුණු 583 ක් ලබාගැනීමට එංගලන්තය සමත් විය. එංගලන්තය මේ වන විටත් තරගාවලියේ 1-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. එබැවින් වසර 10 ක කාලයක් පුරා එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියකින් පරාජය නොවූ පාකිස්තානයේ වාර්තාව අවදානමට ලක්ව තිබේ.

මෙම තරගයේදී සැක් ක්‍රෝලි ලබාගත් ද්විත්ව ශතකය “ඉතා සුවිශේෂී වෘත්තීය දිවියක් කරා” ඔහුව ඔසවා තබන බව ජොස් බට්ලර් තරගයෙන් පසුව පැවසීය.

තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන සැක් ක්‍රෝලි සිය 8 වැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ලබාගත් මංගල ටෙස්ට් ශතකය ලකුණු 267 ක දැවැන්ත ඉනිමක් කරා පරිවර්තනය කළේය. එපමණක් නොව, ජොස් බට්ලර් (152) සමග එක්වූ ක්‍රෝලි පස්වන කඩුල්ල සඳහා ලකුණු 359 ක වාර්තාගත සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.

මීට වසර 143 කට ඉහතදී ලෝකයේ පළමු වැනි ටෙස්ට් තරගයට සහභාගි වූ එංගලන්තය වෙනුවෙන් තනි ඉනිමකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය අත්කර ගැනීමටද ක්‍රෝලි සමත්ව සිටී.
පැය 9 කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳුනු ක්‍රෝලි පන්දු 393 කට මුහුණ දෙමින් ඒවායින් 35 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය. ඉන් එකක් හයේ පහරක් විය.

“අනෙක් කෙළවරේ සිට ඔහු දෙස බලා සිටීමත් සතුටක්” බට්ලර් වාර්තාකරුවන්ට පැවසීය.

“ඔහු ඇදහිය නොහැකි තරම් තදින් පන්දුවට පහර දෙනවා. ඒ වගේම  කඩුල්ල වටා ඕනෑම කලාපයකින් පන්දුව හතරේ සීමාවට යැවීමට තරම් පහර විශාල ප්‍රමාණයක් ඔහුට තියෙනවා.... එය ඉතා සුවිශේෂී වෘත්තීය ජීවිතයක ආරම්භයයි. ඔහු එංගලන්තය වෙනුවෙන් තවත් ශතක කිහිපයක් ලබා ගැනීමට යන බවට සැකයක් නෑ” යයි මෙම දැවැන්ත සම්බන්ධතාව ගොඩනැංවීමට දායකත්වය දුන් ජොස් බට්ලර් පැවසීය.

එංගලන්තය වෙනුවෙන් තනි ඉනිමකදී වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර සිටින්නේ සුළුපටු ක්‍රීඩකයන් නොවේ. ශ්‍රීමත් ලෙනාඞ් හට්න්, වොලී හැමන්ඞ්, ග්‍රැහැම් ගූච් සහ ඇලෙස්ටෙයාර් කුක් ඔවුන් අතර සිටිති. මෙම සුවිශේෂී ක්‍රීඩකයන්ගේ නම් අතරට තමන්ගේ නමත් එක් කිරීම සම්බන්ධයෙන් ඇසූ විට ක්‍රෝලි පිළිතුරු දුන්නේ “ඇත්තෙන්ම එය ඉතා නිහතමානී හැඟීමක්“ කියාය.

“නිසැකවම ඔවුන්ගේ හැකියාවන් අසල කොතැනකවත් මට මාව පෙනෙන්නේ නෑ. ඒත් මට එය ගොඩනගා ගත හැකියි.” යයි ක්‍රෝලි කියයි.

එංගලන්තයට ලෝක කුසලාන දිනා දුන් කණ්ඩායමේ කඩුලු රකින්නා වන බට්ලර් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය සොයමින් දැඩි තරගයක යෙදී සිටියේය. බට්ලර් එතරම් විශාල නොවන ඉනිම කිහිපයක් ක්‍රීඩා කළද ටෙස්ට් කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය අස්ථාවර මට්ටමක විය. එහෙත් මේ මස මුලදී ඕල්ඞ්ට්‍රැෆර්ඞ්හි පැවති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානයට එරෙහිව එංගලන්තය කඩුලු 3 ක ජයක් ලබා ගත් අවස්ථාවේදී බට්ලර් දෙවන ඉනිමේදී ලබාගත් ලකුණු 75 වැදගත් විය.

බට්ලර් මේ දක්වා ටෙස්ට් තරග 47 කට සහභාගි වී ඇතත් මෙය ඔහුගේ දෙවැනි ශතකයයි.

එංගලන්තය - පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 583
(ඩොමිනික් සිබ්ලි 22, සැක් ක්‍රෝලි 267, ජෝ රූට් 29, ජොස් බට්ලර් 152, ක්‍රිස් වෝක්ස් 40, ඩොමිනික් බෙස් නොදැවී 27, ස්ටුවර්ට් බ්‍රෝඞ් 15, ශහීන් ෂා අෆ්රිඩි 121/2, යසීර් ෂා 173/2, ෆවාඞ් අලාම් 46/2)

පාකිස්තානය පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 158
(අසාර් අලී නොදැවී 82, ෆාවඞ් අලාම් 21, මොහොමඞ් රිස්වාන් නොදැවී 22, ජෙම්ස් ඇන්ඩර්සන් 42/4)

- 036


අදහස් (0)

අසාර් අලී හුදෙකලා සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.