Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලුත් මනසකින් එංගලන්තය හමුවට

අලුත් මනසකින් එංගලන්තය හමුවට

editorial - 2019 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ලීඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ සිට...) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය තරග පහම අමතක කර නව මනසකින් එංගලන්තයට එරෙහිව ලීඞ්ස්හි හෙඩින්ලි ක්‍රීඩාංගණයේ අද (21) පැවැත්වෙන තරගයට පිවිසීම ශ්‍රී ලංකා පිලේ සැලැස්ම බව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න ඊයේ (20) පස්වරුවේ පැවසීය.  

ලෝක කුසලාන ක්‍රිකට් පිටියේදී එංගලන්තය හමුවේ වසර 12 ක් රැකගත් අපරාජිත වාර්තාව තව දුරටත් ඉදිරියට ගෙන යෑමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දෙයි. ශ්‍රී ලංකාව සහ එංගලන්තය 2007 තරගාවලියේ සිට 2015 තරගාවලිය දක්වා තරග කළ අවස්ථා තුනේදීම ශ්‍රී ලංකාව පිට පිටම තෙවරක් ජය ලබා සිටීම කැපී පෙනේ. ඒ අනුව ශ්‍රී ලංකාව වසර 12 ක කාලයක් ලෝක කුසලාන තරගාවලිවලදී එංගලන්තය හමුවේ පරාජය වී නොමැත. 
අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් ශ්‍රී ලංකාව අවම වශයෙන් ඉදිරි තරග හතරෙන් තුනක් වත් ජය ලැබිය යුතු අතර ඒ හේතුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය වඩාත් වැදගත් වී තිබේ. ශ්‍රී ලංකාව මේ වන විට ප්‍රසාද ලකුණු හතරක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවෙයි. 

ප්‍රබල එංගලන්ත පිල තරග 5 කින් තරග 4 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 8.00 ක්  සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ හිමිකරගෙන සිටියි. 

ශ්‍රී ලංකා කණ්ඩායම හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ (20) පස්වරුවේ පුහුණු සැසියකට සහභාගි විය. එම පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පැවසුවේ පසුගිය තරග පහ අමතක කර අද තරගයට පිවිසෙන බවයි. 

“අපිට තියෙන්නේ මනස හදාගන්නයි. තරග ජය ගන්න නම් හොඳ මානසික තත්ත්වයකට යන්න ඕනේ. අපි දැන් සූදානම් වෙන්නේ පැවැති සියලුම තරග අමතක කරලා මෙම තරගයට අලුත්ම තරගයක් ලෙස එන්නයි. අපි කණ්ඩායමක් විදියට කථා කරලා සැලසුම් සකස් කරලා තියෙන්නේ” 

“අපිට මැද පෙළ වෙනසක් කරන්න හැකියාවක් නෑ. ඉන්නෙ ඔය පිතිකරුවන් තමයි. ඔවුන්ට වෙලා තියෙන්නේ පසුගිය තරග තුනේදීම සාර්ථක වෙන්න නොහැකි වීමයි. ඔවුන්ට කියලා තියෙන්නේ අලුත් විදියට හිතන්න කියලයි”

“අපේ මැද පෙළ සාර්ථක නොවුනොත් අපිට ලකුණු 300 ක් වගේ විශාල ලකුණු සංඛ්‍යාවක් හඹායෑම අපහසු වෙනවා”

“අපි ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී මෙම තරගාවලියට සහභාගි වී සිටින ඉන්දීය පිල පරාජය කළා. එම ශ්‍රී ලංකා කණ්ඩායමේ පොඩි වෙනස්කම් පමණයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා ඉදිරි තරග ජය ගෙන අවසන් පූර්ව වටයට ඒමේ හැකියාව ඇති බවට”

“අවසන් 11 තවම තීරණය කරලා නෑ. හෙට තණතීරුවේ තත්ත්වය මතයි කණ්ඩායම තීරණය කරන්නේ. තණතීරුව හොඳ වුණොත් අවිෂ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් ලැබෙයි”

“දඟ පන්දු යවන්නන් දෙන්නෙක් ක්‍රීඩා කරනවාද? එසේ නැත්නම් අතිරේක පිතිකරුවකු යෙවාදා ගන්නවද? කියලා තමව තීරණ කර නෑ. එය හෙට පෙරවරුවේ තීරණය කරනවා” 

එංගලන්ත කණ්ඩායම පිළිබඳව දිමුත් මෙසේ අදහස් දැක්වීය.    

“එංගලන්ත පිතිකරු ලැයිස්තුව ගොඩක් ප්‍රබලයි. ඒ නිසා අපි ඔවුන්ව ලකුණු 300 කට අඩුවෙන් තියන්න තමයි සැලසුම් කරන්නේ. එංගලන්ත සියලුම පිතිකරුවන් භයානකයි. අපි සියලුම පිතිකරුවන් පිළිබඳව අවධානය යොමු කරලා තියෙන්නේ”

“එංගලන්ත දඟ පන්දු යවන්නන් හොඳින් පන්දු යවනවා. අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කළා”

වේග පන්දු යවන ක්‍රීක ලසිත් මාලංග නැවත එංගලන්තයට පැමිණීමෙන් පසුව ඊයේ පුහුණු සැසියට සහභාගි විය. 
එංගලන්ත කණ්ඩායම ඊයේ පෙරවරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර අද තරගයේදී තමන්ගේ 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගි වීමට සූදානමින් සිටි තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී පුහුණු සැසියෙන් පසුව මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසුවේ අද පැවැත්වෙන තරගයත් සෙසු තරග මෙන්ම අභියෝගයක් බවයි. 

“මෙම තරගාවලියේ සියලු තරග අභියෝගක්. ශ්‍රී ලංකාවට එරෙහිව තරගයත් අපි අභියෝයක් හැටියට ක්‍රීඩා කළ යුතුයි. මෙම ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවත් භයානක කණ්ඩායමක්”

“අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන පෙරමුණේ සිටින කණ්ඩායම් හතරේ ස්ථිරයි කියලා කියන්න බෑ. බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් හොදින් ක්‍රීඩා කරමින් ඉන්නවා. එය සෙසු සියලුම කණ්ඩායම්වලට තර්ජනයක්. නමුත් අපි මේ වන විට ඉදිරියෙන් ඉන්නවා. පළමු ඉලක්කය ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතරට පැමිණීම තමයි” 

ආරම්භක පිතිකරු ජේසන් රෝයිගේ ආබාධයේ තත්ත්වය පිළිබඳව අලී මෙසේ පැවසීය. 

“ජේසන් සමඟ මමත් කථා කළා. මම හිතන්නේ ඔහු ඉතාමත් ඉක්මනට සුවවෙයි. වෘත්තිය කණ්ඩායමක් හැටියට අපි ඕනෑම තත්ත්වයක් යටතේ ක්‍රීඩා කරන්න සූදානමින් ඉන්නවා”

“මම පෞද්ගලිකව සතුවු වෙනවා 100 වැනි තරගයට සහභාගි වීමට ලැබීම ගැන. එය ක්‍රීඩකයකු ලෙස සිහිනයක් සැබෑවීමක්, 2015 වසරේ කණ්ඩායමට පැමිණ ඉදිරියට ආපු ගමන ගැන සතුටු වෙනවා” යැයි අලී වැඩි දුරටත් පැවසීය. 

එංගලන්ත ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ජේසන් රෝයි ආබාධයක් හේතුවෙන් අද තරගයට සහභාගි නොවීම ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයකි. කෙසේ වෙතත් නායක ඔයින් මෝගන් දින දෙකකට පෙර ඇෆ්ගනිස්තානයට එරෙහිව රැස්කළ ලෝක වාර්තාගත ශතකය හේතුවෙන් ඔහු පිළිබඳව අවබෝධයෙන් සිටීම වඩාත් වැදගත් වී තිබේ. මෝගන් ඊයේ පුහුණු සැසියේදී පුහුණු වීම්වල නිතර නොවීය. 

 මෙම තරගය සඳහා දුඹුරු පැහැති තණතීරුවක් ඊයේ පෙරවරුවේ සකසමින් තිබූ අතර එහි ස්භාවය අනුව පිතිකරුවන්ට වඩාත් වාසිදායක වියහැකි බව කිවහැකිය. 

වසර 44 ක ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 10 ක් පවත්වා ඇති අතර එහිදී එංගලන්තය තරග හයක් ද, ශ්‍රී ලංකාව තරග හතරක් ද, ජය ලබා තිබේ. 

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය පළමු වරට 1983 ලෝක කුසලාන තරගාවලියේදී ටෝන්ටන්හිදී තරග කළේය. එංගලන්තය එම තරගයෙන් ලකුණු 47 ක ජයක් ලැබීය. එම තරගාවලියේ පළමු වටයේ සෑම රටකම එරෙහිව තරග දෙක බැගින් පැවැති අතර එංගලන්තයට එරෙහිව දෙවැනි තරගයේදී ලිඞ්ස්හිදී ශ්‍රී ලංකාව කඩුලු නවයකින් පරාජය විය. 

ශ්‍රී ලංකාව 1987 තරගාවලියේදී ද එංගලන්ත හමුවේ තරග දෙකම පරාජයට පත්විය. 1992 තරගාවලියේදී අඛණ්ඩව පස්වැනි වරටත් එංගලන්තය ශ්‍රී ලංකාව පරාජය කළේය.

අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වූ 1996 වසරේ අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු පහකින් ජය ලබමින් එංගලන්තයට එරෙහිව පළමු ලෝක කුසලාන ජය වාර්තා කළේය. 

ශ්‍රී ලංකාව 1999 ලෝක කුසලාන තරගාවලියේදී නැවත් එංගලන්තය හමුවේ පරාජයට පත්විය.  

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් 2007 තරගාවලියේදී නැවතත් එංගලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව 2011 වසරේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලැබීය. 

ආසන්නතම ලෝක කුසලාන තරගාවලියේදී 2015 වසරේ වෙලින්ටන්හිදී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 310 ක් හඹායමින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජය ලැබීය. 

එම තරගයේදී ආරම්භක පිතිකරු ලෙස නොදැවී ලකුණු 139 ක් රැස්කළ ළහිරු තිරිමාන්න අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටියි. 

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා එක්දින තරග 74 ක් පවත්වා ඇති අතර එහිදී එංගලන්තය තරග 36 ක් ජය ද, ශ්‍රී ලංකාව තරග 35 ක් ද, ජය ලබා තිබේ. ඉන් තරගයක් සමව ද, තරගය දෙකක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. 

 ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් එක්දින තරගය 2018 වසරේ ඔක්තෝබර් මස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 219 ක පහසු ජයක් ලැබීය. කෙසේ වෙතත් තරග පහකින් සමන්විත වූ එම තරගාවලිය එංගලන්තය 3-1 කින් ජය ලැබීය. 

ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්

එංගලන්ත සංචිතය: 
ඔයින් මෝගන් (නායක), ජොනී බෙයාස්ටෝ, ජේම්ස් වින්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජෝස් බට්ලර්, මුයින් අලී, ක්‍රිස් වෝක්ස්, අදීල් රෂීඞ්, ජොෆ්රා ආචර්, මාක් වුඞ්, ටොම් කරන්, ලියම් ප්ලන්කට් සහ ලියම් ඩෝසන් 

 

 

අදහස් (0)

අලුත් මනසකින් එංගලන්තය හමුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.