Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අලංකාරය අමතක කරමින් අයි.පී.එල්. තරග ඇරඹෙයි

අලංකාරය අමතක කරමින් අයි.පී.එල්. තරග ඇරඹෙයි

editorial - 2020 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රූමත් කාන්තාවන්, ක්‍රිකට් ලෝලීන් මෙන්ම දිදුළන ආලෝකයත් නොමැතිව, ඉතාමත් සාමාන්‍ය ආකාරයෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ 13 වැනි අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (19 වැනිදා) ආරම්භ වෙයි. එහෙත් කොරෝනා වයිරසයේ බලපෑමට හසුව බිමටම සමතලා වූ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට අයි. පී. එල්. තරගාවලිය කිසියම් අස්වැසිල්ලක් වනු ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඉතා දැඩි සෞඛ්‍ය නීතිරීති යටතේ හුදෙකළා කෙරුණු කණ්ඩායම් 8 ක් අතරේ තරගාවලිය පැවැත්වෙයි. තරගාවලියේ සුපුරුදු සමාරම්භක උත්සවය නැතිවම පසුගිය වසරේ අවසන් මහ තරගය පැවැති මුම්බායි ඉන්දියන්ස් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර අද පළමු තරගය පැවැත්වෙයි.

මෙවර තරගාවලියේදී ක්‍රීඩකයන් 5 දෙනෙක් කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබේ.  
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක ඬේවිඞ් වෝනර්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්, කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් එම ක්‍රීඩකයෝ වෙති.

කෝලිගේ පිත්ත ක්‍රියාත්මක වූ බොහෝ තරගවලදී බැංගලෝර් කණ්ඩායම ජය ලබා ඇති අතර 2016 වසරේ පැවැති අයි.පී.එල්. තරගාවලියේදී (තරග 16 කදී) ලකුණු 973 ක් රැස්කරමින් සිය කණ්ඩායම අනු ශූරතාව කරා රැගෙන යෑමටද කෝලි සමත් විය. එය එදා මෙදා තුර අයි.පී.එල්. තරගාවලියකදී ක්‍රීඩකයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වෙයි.

2017 වසරේදී (තරග 14 කදී) ලකණු 641 ක් රැස්කරමින් සහ 2019 වසරේදී (තරග 12 කදී) ලකුණු 692 ක් රැස්කරමින් එම තරගාවලිවල වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඬේවිඞ් වෝනර්, තම නායකත්වය යටතේ හයිද්‍රාබාද් කණ්ඩායමට 2016 වසරේ අයි.පී.එල්. ශූරතාව දිනා දීමටද සමත් විය.

මෑතකදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව වේගවත් ලකුණ් 77 ක් රැස්කරමින් සිය හොඳම විස්සයි20 ඉනිම ක්‍රීඩා කළ ජොස් බට්ලර්, අයි.පී.එල්. තරගාවලිවලදී රඳවාගෙන සිටින ප්‍රහාරාත්මක වේගය 150 කට වැඩි අගයක් ගනී. එහෙත් විස්සයි-20 තරගාවලියකදී එය පහසුවෙන් රඳවාගත හැකි වාර්තාවක් නොවේ. එසේ වුවත් ජොස් බට්ලර් යනු වේගයෙන් ලකුණු රැස්කිරීමට උපන් හපනෙකි.
 
ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස හැදින්වෙන ඔන්ඩි්‍ර රසල්, කිහිප වරක්ම තනි අතින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගොස් ඇති ක්‍රීඩකයෙකි. ඉකුත් වසරේදී (2019) ලකුණු 510 ක් රැස්කරමින් සහ කඩුලු 11 ක් දවාගනිමින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසද ඔහු සම්මාන දිනාගත්තේය.

තවමත් 21 වැනි වියේ පසුවන රෂීඞ් ඛාන්, ඉකුත්දා නිමාවට පත්වූ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී විස්සයි-20 කඩුලු 300 කඩඉම පසුකර ගියේය. ලෝක විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔහු අයි.පී.එල්. තරග 46 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 55 කි.  


-036


අදහස් (0)

අලංකාරය අමතක කරමින් අයි.පී.එල්. තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.