Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ඉවත්වෙයි

අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ඉවත්වෙයි

editorial - 2020 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව ධනවත්ම ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වූ චීනයේ ප්‍රධාන දුරකථන නිෂ්පාදන සමාගමක් වන විවෝ සමාගම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට අද (4 වැනිදා) තීරණය කළේය. චීන සමාගමට සමාජ මාධ්‍යවලින් එල්ලවූ ප්‍රහාර වලින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි කියැවේ.

වසර පහක කාලයක් සඳහා ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස 2018 දී පත්වූ ‘විවෝ’ සමාගම එම කාලය තුළ ප්‍රධාන අනුග්‍රාහකයා වීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් (ඉන්දීය රුපියල් කෝටී 2199 ක්) ගෙවීමට එකඟ විය. එහෙත් කොරෝනා වයිරසයේ පැතිර යාම හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල්. තරගාවලිය කල්දමන ලදි.

කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඉතාමත් අසීරු අභියෝග මැද සැප්තැම්බර් මස 19 වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන අයි.පී.එල්. තරගාවලියේ සියළුම අනුග්‍රාහකයින් රඳවා තබාගත් බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. එහෙත් තරගාවලිය ආරම්භ කිරීමට සති හයක් තිබියදී ප්‍රධාන අනුග්‍රාහක ධූරයෙන් වීවෝ සමාගම ඉවත් වී තිබේ.

ඉන්දු - චීන දේශ සීමාවේ පිහිටි ලඩාක් ප්‍රදේශයේදී ඉන්දීය සහ චීන හමුදා අතර පසුගිය ජුනී මාසයේදී ගැටුම් ඇතිවිය. එහිදී ඉන්දීය සොල්දාදුවෝ 20 දෙනෙක් මියගියහ. මෙම සිදුවීම් හේතුවෙන් චීනය සමග පවත්වන සබඳතා අත්හරින ලෙස ඉන්දියාවේ ජාතිවාදී කණ්ඩායම් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බලපෑම් කළේය. ට්විටර් සමාජ ජාලයේදී අයි.පී.එල්. තරගාවලිය හැඳින්වූයේ “චීන ප්‍රිමියර් තරගාවලිය” ලෙසිනි.

ඉන්දියාව සහ චීනය අතර සිදුවූ ගැටුමෙන් පසුව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වීවෝ සහ අනෙකුත් චීන අනුග්‍රාහකයන් සමඟ ඇති සබඳතා කපා නොදැමීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් තරඟාවලිය නැවත නැවතත් ප්‍රමාද කිරීමෙන් පසුව, අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ කරන බව පැවසූ නමුත් අනුග්‍රාහකත්වය වෙනස් කිරීම ගැන කිසිදු සඳහනක් නොකිරීමෙන් ඉන්දියාවේ ජාතිවාදී කණ්ඩායම් තවත් කෝපයට පත් ව සිටිති.

දේශ සීමා මරණ සම්බන්ධයෙන් මහජන කෝපය නොතකා හැරීම නිසා ඉන්දීය රජය විසින් අයි.පී.එල් තරඟාවලිය අවහිර කිරීමට පියවර ගතයුතු බව කුඩා ව්‍යාපාරිකයින් මිලියන 70 ක් සිටින සමස්ත ඉන්දීය වෙළෙඳුන්ගේ සම්මේලනය කියා සිටියේය. ජූනි මස 15 ඉන්දු - චීන දේශසීමාවේ ඇතිවූ ගැටුම් වලින් පසුව තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා සම්බන්ධයෙන් නැවත සිතා බලන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කීවේය. එහෙත් ලබන මාසයේදී ආරම්භ කිරීමට සූදානම් වන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් ඊයේ වන තුරුත් සිටියේ වීවෝ සමාගමයි.

හිමාල කඳුවැටියේ පාමුල ඇති වූ ගැටුමෙන් අනතුරුව, ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ කරුණු දක්වමින්, වීඩියෝ හුවමාරු යෙදුමක් වන ‘ටික් ටොක්’ ඇතුළු චීන යෙදුම් 59 ක් ඉන්දීය රජය විසින් තහනම් කරන ලදී. බිලියන 1.3 ක ජනතාවක් සිටින ඉන්දියානු වෙළඳපොළෙන් චීන නිෂ්පාදන ඉවත් කිරීම ඇතුළු රජය ගන්නා වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳවද චීන නිලධාරීන් කනස්සල්ල පළ කර තිබිණ.

කෙසේ වෙතත් ඩොලර් මිලියන 550 ක පිරිවැටුමක් සහිත අයි.පී.එල්. තරගාවලිය සඳහා චීන අනුග්‍රාහකයන් රඳවා ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඇතැම් විපක්ෂ දේශපාලන පක්ෂ ඉන්දීය රජයට දොස් පවරා ඇත.

- 2079


අදහස් (0)

අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ඉවත්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.