Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 24 ක සංචිතයක් පල්ලෙකැළේට

24 ක සංචිතයක් පල්ලෙකැළේට

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව පුහුණුවීම් ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි නේවාසික පුහුණු සැසිය ක්‍රීඩකයන් 24 දෙනකුගේ සහභාගිත්වයෙන් ලබන 22 වැනිදා පල්ලෙකැළේදී ආරම්භ වේ. එය කෝවිඞ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරමින් පැවැත්වෙන, දින 10 ක පුහුණු කඳවුරකි.

මෙම පුහුණු කඳවුරේ ප්‍රධාන අරමුණ වන්නේ ක්‍රීඩකයන් මුහුණ දුන් දීර්ඝ කාලීන විවේකයෙන් මුදවා, ඔවුන් වඩාත් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමයි. ඒ සඳහා ක්‍රීඩකයන් සමග කටයුතු කිරිමට හය දෙනකුගෙන් සමන්විත පුහුණු අභ්‍යාසකවරුන්ගේ කණ්ඩායමක්ද පල්ලෙකැළේ බලා පිටත්ව යනු ඇත.

වඩාත් හොඳ මට්ටමේ පුහුණු තණතීරු මෙන්ම ව්‍යායාම ශාලා සහ අනෙකුත් අවශ්‍යතා පහසුවෙන් සපයා ගත හැකි හෙයින් මෙම පුහුණු කඳවුර සඳහා පල්ලෙකැළේ ක්‍රීඩාංගණය තෝරාගෙන තිබේ. ක්‍රීඩකයන් 24 දෙනකු සිටින හෙයින් පුහුණු කඳවුර අතරවාරයේදී ක්‍රීඩකයන් අතර පුහුණු තරගයක් හෝ දෙකක් පැවැත්වීමෙන් ඔවුන් තරග තත්ත්වයන්ට හුරු කරවීමත් තවත් අරමුණකි.

“කෝවිඞ්-19 න් පසුව වඩාත්ම හොඳින් සූදානම් වූ අන්තර්ජාතික කණ්ඩයම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්කිරීම මෙම පුහුණු කඳවුරේ ප්‍රධාන අරමුණයි” යයි ජාතික පහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබිණ.
මේ මස මුල් සතියේදී පැවැති පළමු නේවාසික පුහුණු කඳවුරේදී භාවිතා කළ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස්ම මීළඟ කඳවුරේදීත් භාවිතා කරන ලෙස ක්‍රීඩකයන්ට තදින් උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අරමුණ වන්නේ ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වුවහොත් ඒ සඳහා කණ්ඩායම සූදානම් කිරීමයි. මෙම තරගාවලිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව කියැවෙතත් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් තවමත් නිකුත් වී නැත. අනෙක් අතට ඉන්දියාවේ සහ පාකිස්තානයේ කොරෝනා වසංගත තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබේ.

පෙරේදා (17 වැනිදා) වන විට පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 2000 ක් ඉක්මවා තිබූ අතර කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ රෝහල් පිරී ඉතිරී ගොස් තිබිණ.

එංගලන්ත සංචාරය ඉලක්ක කරගනිමින් පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණුව අරඹා ඇතත් කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තවමත් පුහුණුවීම් ආරම්භ කර නැත.


පල්ලෙකැළේදී පැවැත්වෙන පුහුණු කඳවුර සඳහා තෝරා ගන්නා ලද ක්‍රීඩක සංචිතය
දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් ජනිත් පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, කුෂල් මෙන්ඩිස් සහ භානුක රාජපක්ෂ.


අදහස් (0)

24 ක සංචිතයක් පල්ලෙකැළේට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.