Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2020 ලෝක කුසලාන තරගාවලිය යථාර්ථයක් විය නොහැකියි

2020 ලෝක කුසලාන තරගාවලිය යථාර්ථයක් විය නොහැකියි

editorial - 2020 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීම “යථාර්ථයක් විය නොහැකියි” යයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති අර්ල් එඩිංග්ස් මහතා කියයි. එයට ආසන්නම හේතුව වන්නේ කොරෝනා වයිරසයෙන් ලෝකයට වූ බලපෑම බවත් එඩිංග්ස් මහතා අවධාරණය කරයි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් මේ දක්වා කියමින් සිටියේ තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට තමන් සියලුම පියවර ගන්නා බවයි. එහෙත් ලෝකයේ බොහෝ දේශ සීමා තවමත් වසා දමා තිබෙන බැවින් එඩිංග්ස් මහතා කිවේ මෙවර ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීම “යථාර්ථයක් නොවීමේ ඉඩකඩ එන්න එන්නම වැඩිවන බවයි.

“ඒක (ලෝක කුසලාන තරගාවලිය) තවමත් නිල වශයෙන් කල්දාලා හෝ අවලංගු කරලා නෑ. ඒත් රටවල් 16 කින් කණ්ඩායම් ඕස්ට්‍රේලියාවට ගෙන්වන එක පහසු දෙයක් නෙමේ. මොකද තවමත් බොහෝ රටවල් කොරෝනා වයිරසයෙන් බැට කමින් සිටින නිසා”

“මා හිතන්නේ ඒක යථාර්ථයක් වෙන එකක් නෑ... එහෙම නැත්නම් ඒක ඉතාමත් අසීරු අභියෝගයක් වෙන්න පුළුවන්” යයි එඩිංග්ස් මහතා වාර්තාකරුවන්ට පැවසීය. ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් විකල්ප යෝජනා කිහිපයක්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඉදිරිපත් කර ඇතැයිද එඩිංග්ස් මහතා පැවසීය.

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා. කොහොම වුණත් මේ වෙලාවේ ඒක (ලෝක කුසලාන තරගාවලිය) තරමක් එහා මෙහා කළ හැකි දෙයක් බවට පත්වී තියෙනවා” යයිද එඩිංග්ස් මහතා කීවේය.

කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සාර්ථකත්වයක් පෙන්වා ඇති ඕස්ටේ්‍රලියාව ලබන මාසයේ සිට ක්‍රීඩාංගණ වලට ප්‍රේක්‍ෂකයන් 10,000 ක් ගෙන්වීමට අවසර දී තිබේ. එහෙත් ඕස්ටේ්‍රලියාවේ දේශසීමා අතර සංචරණය තවමත් දැඩි නීතිරීති යටතේ පාලනය වන අතර ප්‍රාන්ත අතර ගමනාගමනයද බොහෝ දුරට සීමා කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන්නේ නම් තරග 45 ක් නගර 7 කදී පැවැත්විය යුතුව තිබේ. ඒ අනුව ක්‍රීඩකයන්ට මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහායකයන්ටද, ක්‍රිකට් ලෝලීන්ටද මෙම නගර (ප්‍රාන්ත) අතර කිහිප වතාවක් ගමන් කිරීමට සිදුවීම වැළැක්විය නොහැකිය.

එඩිංග්ස් මහතා කීවේ දෙසැම්බර් - ජනවාරි මාසවලට යොදාගෙන තිබෙන ඉන්දීය පිලේ ඕස්ටේ්‍රලියානු සංචාරය නම් නියමිත පරිදි ක්‍රියාත්මක වන බවයි. තරගාවලිය පැවැත්වෙන්නේ දෙසැම්බර් - ජනවාරි මාසවලදී වුවත් ඕස්ටේ්‍රලියාවට ඇතුළු වීම සඳහා දින 14 ක කාලයක් නිරෝධායනය වීමට ඉන්දීය පිල කැමැත්ත පළකර තිබේ.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා විදේශීය කණ්ඩායම් 15 ක් ඕස්ට්‍රේලියාවට පැමිණිය යුතුව තිබේ. එම කණ්ඩායම් වල සිටින සාමාජිකයන් ගණන සහ ඔවුන් පැමිණෙන ප්‍රදේශයන් සැලකූ විට ලෝක කුසලාන තරගාවලිය වඩාත් බරපතල අභියෝගයකි.

මේ වන විට පවතින හොඳම විකල්පය වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල්දැමීමයි. එහෙත් ඒ සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ කොරෝනා වයිරසයේ බලපෑමට හසුවූ අන්තර්ජාතික ක්‍රිකට් කැලැන්ඩරයෙන් ලෝක කුසලාන තරගාවලියට ඉඩක් සොයා ගැනීමයි.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලිය කල්දමනු ලැබුවහොත් එය අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට හොඳ අවස්ථාවක් වනු නිසැකය. අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවෙන් පිටතදී හෝ ප්‍රේක්‍ෂකයන් නොමැතිව හෝ පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අරමුණ වී තිබේ.

 

16 වැනිදා (සිඞ්නි - ඒ.එෆ්.පී.)

- 213


අදහස් (0)

2020 ලෝක කුසලාන තරගාවලිය යථාර්ථයක් විය නොහැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.