Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2020 ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු නොකිරීමේ නොකියන හේතුව

2020 ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු නොකිරීමේ නොකියන හේතුව

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අසූව දශකය දක්වා පැවැති, ක්‍රිකට් ලෝකයම තනි අතින් ගෙන පොළොවේ ගැසිය හැකිව තිබූ “නිෂේධ බලය” 1997 වන විට එංගලන්තයට  සහ ඕස්ටේ්‍රලියාවට අහිමිව ගියේය. මෙම නිෂේධ බලය නොවන්නට ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවීම 1982 දී නොව 1975 තරම් ඈතට යන්නටත් ඉඩ තිබිණ.

පාකිස්තානයේ පළමු ක්‍රිකට් නායකයා වූ අබ්දුල් හෆීස් කාදර් මහතා 1970 දශකය අගදී පැවති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික රැස්මකදී ඉතා දැඩි ස්වරයෙන් කියා සිටියේ මෙවන් කතාවකි.

“මම ශ්‍රී ලංකාවත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දස්කම් මොනවාද කියලා මම හොඳින්ම දන්නවා.... ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් (අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය) නොදෙන්නේ වාර්ගික වෙනස්කම් කිරීමකට මිස අනෙක් හේතුවක් නිසා නෙමේ”
එසේ කී පාකිස්තානු පිලේ හිටපු නායකයා, ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පෙර නිල නොවන ටෙස්ට් තරගාවලි කිහිපයක්ම ශ්‍රී ලංකාවට දෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීමට බොහෝ උපකාර කළ අයෙකි.

එකල ක්‍රිකට් ක්‍රීඩාවේ හැන්ද තිබුණේ එංගලන්තය සහ ඕස්ටේ්‍රලියානුව අතය. එහෙත් 1997 දී මෙම නිෂේධ බලය ගිලිහී යාමත්, පසුව රූපවාහිනිය පැමිණීම නිසා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාණිජ වටිනාකම් ඉහළ යමත් නිසා ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ බලවතා බවට පත්විය. ඊට ප්‍රධාන හේතුවක් වුයේ ඉන්දියාවේ වෙසෙන කෝටි 138 කට ආසන්න ජනතාවගෙන් 90්‍ර ක්ම ක්‍රිකට් උන්මන්තකයන් වීමයි.

තවත් දෙසතියකින් (ජූනි 21 වැනිදා) ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දු - ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල්ගියද එය අවලංගු වීමේ ලයිස්තුවට නොවැටෙන්නේ වසර 2023 දක්වා සකස් කර ඇති රූපවාහිනී ගිවිසුමට මෙම තරගාවලියද ඇතුළත් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අයිතිවාසිකම් පිළිබඳ රූපවාහිනී ගිවිසුම පසුගිය මාර්තු මාසයේදී අවසන් වූ අතර දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයට පෙර නව ගිවිසුමක් ඇතිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය බලාපොරොත්තුව සිටියේය. එහෙත් දකුණු අප්‍රිකානු පිලට පෙර කොරෝනා වසංගතය පැමිණීම නිසා දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරය මෙන්ම රූපවාහිනී ගිවිසුම සකස් කිරීමද දිනෙන් දින කල් ගියේය.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරග සඳහා රූපවාහිනී/ගුවන් විදුලි සහ විද්යුත් තලයේ සන්නිවේදන අයිතිවාසිකම් සඳහා ලංසු තැබීමේ අවසන් දිනය ජූනි මස 15 වැනිදා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ඉන්දීය කණ්ඩායමක් කිනම් රටක සංචාරය කළද, ඒ වෙනුවෙන් පවතින ඉහළ මූල්‍ය ලංසුව හේතුවෙන් කිසිම ආකාරයකින් ඉන්දීය පිලේ සංචාරය “අවලංගු කිරීමේ” ලයිස්තුවට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් නොවේ.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකි මූල්‍ය වාසියක් නැත. එහෙත් ශ්‍රී ලංකා සංචාරය ‘ඇමක්’ සේ තබාගනිමින් මේ වසරේ ඔක්තෝබරයේදී පැවත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට තල්ලු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඡන්දය ලබාගැනීමටත්, විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට තල්ලු කරගතහොත් එයින් ඇතිවන හිදැස යොදාගනිමින් 2020 අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමටත් ඉන්දියාවට අවස්ථාව නැතුවා නොවේ.

නිෂේධ බලය නැතිව ගියද ඡන්දය ලැබෙන්නේ නම් ඒ වෙනුවෙන් බොහෝ දේ කැප කිරීමට ඡන්දය සමග ගනුදෙනු කරන්නෝ දනිති. ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය මේ මාසයේදී ආරම්භ වන්නේ නැතත් එය අවංලගු කිරීමේ ලයිස්තුවට නොවැටෙන්නේ මෙවන් කාරණා හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තරගාවලිය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැතත් එය බොහෝ දුරට කල්දැමීමට වැඩි ඉඩක් ඇති බවයි.

“අපි දිගින් දිගටම ඒගොල්ලන් (ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය) එක්ක සම්බන්ධ වී ඉන්නවා. ඒත් තරගාවලිය සම්බන්ධයෙන් තවමත් ස්ථිර තීරණයක් අරගෙන නෑ”

“කොහොම වුණත් දැන් තියෙන තත්ත්වය අනුව තරගාවලිය මේ මාසේ තුන්වැනි සති අන්තයේදී ආරම්භ කරන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි” යයිද ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

මේ මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග තුනක් ඇතුළත්ව තිබිණ. මෙම තරග හයේ මූල්‍ය වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 23 ක් ආසන්නයේ පවතී. එවන් මුදලක් අහිමි කරගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිසේත්ම අපේක්ෂා කරන්නක් නොවේ.

මේ වසරේ සිට වසර 2023 දක්වා සකස් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනී අයිතිවාසිකම් ලයිස්තුවට ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි 12 ක් ඇතුළත් වේ. ඒ අතරට මුලින්ම එන්නේ ඉන්දු  - ශ්‍රී ලංකා තරගාවලියයි.

දැනට පවතින ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගතහොත්, කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම යන්තම් පුහුණුවීම් ආරම්භ කළා පමණි. එයද පන්දු යවන්නන් සඳහා පමණි. ශ්‍රී ලංකා පිතිකරුවෝ තවමත් තම තමන්ගේ නිවෙස් වලටම සිරවී සිටිති. එහෙත් ඉන්දියාව වැනි කණ්ඩායමකට එරෙහිව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තනි කණ්ඩායමක් වශයෙන්, අඩුම තරමේ දෙසතියක් වත් පුහුණුවීම් වල නිරතව සිටිය යුතුව තිබේ.

අනෙක් අතට කොරෝනා වසංගතය ඉන්දියාව තුළ ව්‍යාප්තිය එන්න එන්නම දරුණු තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව  250,000 ආසන්නයේය. අවසන් දින හතරේදී ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 40,000 කට ආසන්න වෙයි.

මෙවන් තත්ත්වයක් පවතිද්දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට තමන්ගේ ක්‍රීඩකයන් එක්කාසු කරගැනීමත් භයංකාර ප්‍රශ්නයකි. ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය කලින්ම කියා සිටියේ පුහුණුවීම් ආරම්භ කළද, තමන්ගේ හොඳම සම්පත් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා සහ ජස්ප්‍රීට් බුම්රා වැනි ක්‍රීඩකයන් එකවරම පුහුණු සංචිතයට නොකැඳවන බවයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වන රවී ශාස්ත්‍රි මහතා දෙසතියකට ඉහතදී කියා සිටියේත් තරගාවලිය කුමක් වූවත් තරගාවලිය ආරම්භ කිරීමට පෙර තමන්ගේ ක්‍රීඩකයන්ට අඩුම තරමේ මාසයක වත් ස්ථාවර පුහුණුවක් අවශ්‍ය බවයි.
“ලෝක මට්ටමේ තරගාවලි සම්බන්ධයෙන් මා දැන්ම අවධානය යොමු කරන්නේ නෑ..” යයි ශාස්ත්‍රී මහතා පසුගිය දිනෙක ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට කියා තිබිණ.

“ගෙදරම ඉන්න... ඉන්දියාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය සාමාන්‍ය තත්ත්වයට එන්න දෙන්න. සියලුම මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්.. ඒ කියන්නේ අන්තර්ජාතික, දේශීය වගේම අනෙක් සියලු දෙනාත්, පළමුව පිට්ටනියට බහින්න ඕනා.. ඒක තමයි වැදගත්ම දේ”

“ඊට පස්සේ පුළුවන් රටවල් දෙකක් අතර පවතින ද්විපාර්ශ්වික ක්‍රිකට් ගැන හිතලා බලන්න” යයිද ඉන්දීය පුහුණුකරුවා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට පවසා තිබිණ.


අදහස් (0)

2020 ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය අවලංගු නොකිරීමේ නොකියන හේතුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.