Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 2020 අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී තියන්නත් පුළුවන්

2020 අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී තියන්නත් පුළුවන්

editorial - 2020 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ලබන සැප්තැම්බරයේදී අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්විය හැකි නම් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය යොදාගත් පරිදිම ඔක්තෝබර් - නොවැම්බර් මාස වලදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්විය හැකි බව ක්‍රිකට් විශාරද සුනිල් ගවස්කාර් මහතා කියයි. ඉන්දීය පිලේ හිටපු නායකයකු වන සුනිල් ගවස්කාර් මහතා මේ වන විට ලෝකයේ මහත් ජනප්‍රසාදයක් දිනාගත් ක්‍රිකට් විස්තර විචාරකයෙකි.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය කල් යන බවට දැනටමත් සැක පහළ වී තිබේ. කෙසේ වෙතත් ජූනි මාසයේ සිට ක්‍රීඩාංගණයකට නරඹන්නන් 10,000 ක් පමණක් ඇතුළත් කරගැනීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කිරීමත් සමගම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමේ බලාපොරොත්තු අලුත් වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන මාසයේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ගනු ලැබීමට නියමිතය.

“විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පවත්වනවා කියලා අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළොත් අයි.පී.එල්. තරගාවලිය තියන්න වෙන්නේ නෑ. අයි.පී.එල්. තරගාවලිය තියන්න පුළුවන් වෙන්නේ ලෝක කුසලාන තරගාවලිය කල්දැම්මොත් විතරයි” යයි සුනිල් ගවස්කාර් මහතා ඉන්දීය රූපවාහිනී සේවාවකට පැවසීය.

මේ අතරවාරයේදී ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා අනපේක්‍ෂිත බවුන්සරයකින් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට දමාගැසුවේය. ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ ප්‍රේක්‍ෂකයන් 10,000 දෙනාට විවෘත කිරීමට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා අවසර දීමත් සමගින් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තු ඉහළ යන අතරම අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමේ බලාපොරොත්තු ඈතින් ඈතට ගසාගෙන යන්නට විය.

“(අගමැතිවරයාගේ නිවේදනයට පස්සේ) ඔක්තෝබර් මාසයේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමත් අසීරු වෙයි වගේ...” යයිද ගවස්කාර් මහතා පවසා තිබිණ.

කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක පිරිවැටුමක් ඇති අයි.පී.එල්. තරගාවලිය කෙසේ හෝ පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ අභිලාෂය වී තිබේ. අයි.පී.එල්. සභාපති බි්‍රජේෂ් පතෙල් මහතා කියා සිටියේ ඉදිරි මාස දෙකේදී කොරෝනා වයිරසයේ බලපෑම අඩු නොවන්නේ නම් අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන බවයි.

සැප්තැම්බර් මාසයේදී ඉන්දයාවේ මෝසම් වැසි සමය වන හෙයින් සැප්තැම්බර් මාසය ඉන්දියාවේ ක්‍රිකට් තරග පැවැත්වීමට යෝග්‍ය කාලයක් නොවේ. එබැවින් වඩාත් කෙටි වූ අයි.පී.එල්. තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම “හොඳ විකල්පයක්” බව ගවස්කාර් මහතාගේ අදහසයි.

“ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරගාවලිය වඩාත් කෙටි තරගාවලියක් වෙන්න පුළුවන්. වෙනදා පැවැත්වෙන විදිහට කණ්ඩායම් දෙකක් අතර තරග දෙකක් පැවැත්වෙනවා වෙනුවට කණ්ඩායම් දෙකක් එක වරක් තරග කළාම ඇති” යයිද ගවස්කාර්  මහතා පැවසීය.

අයි.පී.එල්. තරගාවලිය සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ලෝකයේ සල්ලි මලු හොල්ලන අයි.පී.එල්. තරගාවලිය මීට පෙර දෙවතාවක්ම ඉන්දියාවෙන් පිටතදී පැවැත්වී තිබේ. ඒ ඉන්දීය මහ මැතිවරණය හේතුවෙනි.

වසර 2009 දී අයි.පී.එල්. තරගාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැති අතර 2014 දී එයින් මුල් කොටස එක්සත් අරාබි එමීර් රජ්‍යයේදී පැවැත්විණ.

 

14 වැනිදා (නවදිල්ලිය - ඒ.එෆ්.පී.)
 - 213


අදහස් (2)

2020 අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී තියන්නත් පුළුවන්
  • indra Tuesday, 16 June 2020 05:58 AM

    කොරෝනා රැල්ලකට නැවත අතවැනීමකි. සියලු දෙනාගේම අවධානය මෙයට යොමුවෙන්න ඕනේ...

    Reply 0       0

    Sampath Wednesday, 17 June 2020 04:32 AM

    මගේ අදහස නම් මොනතරම් මුදල් ලැබෙන මාර්ගයක් වුණත් ලෝකයේ පවතින වසංගතයත් එක්ක මෙවැනි තරඟ පවත්වන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකාව වන අපේ රට මුලසිටම හොඳ සැලසුමක් විදිහට ආරක්ෂා කරගෙන ආවා. නමුත් මෙම තරගාවලියට විදේශ රටවල අය පවා එනවා. ඒ නිසා සහතිකයක් කාටවත් දෙන්න බැහැ. ඒ නිසා මුලින්ම රටේ ආරක්ෂාව ගැන හිතමු.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.