Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

editorial - 2019 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 97 කදී - 6/308

ලකුණු 308 ක් ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවමින් පාකිස්තාන කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.

එහිදී සිය 6 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට ධනංජය ද සිල්වා (නොදැවී 102) සමත් විය. ඔහුය එය ලබාගත්තේ පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ඉනිමේදී වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. පන්දු 166 කට මුහුණදෙමින් ලබාගත් එම ශතකය හතරේ පහර 15 කින් සමන්විත විය. 

නිරෝෂන් දික්වැල්ල (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ධනංජය, ඉන් නොනැවතී ඩිල්රුවන් පෙරේරා (නොදැවී16) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

...................................................................................................................

පෙරවරු 9.50

පස්වැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. ක්‍රීඩාංගණය අවට හිරු රශ්මිය වැටී ඇති අතර පන්දුවට පහරදීම සදහා ධනංජය ද සිල්වා (නොදැවී 87) සහ ඩිල්රුවන් පෙරේරා (නොදැවී 6) පිටියට පිවිසෙති. තෙවැනි දිනය අවසානයේ යැවූ 92 වැනි ඕවරයේ අවසන් පන්දුව පස්වැනි දිනයේදී යැවීමට නීෂම් ෂා සූදානම්.

...................................................................................................................

පෙරවරු 12.40

දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රීඩාංගණය පරීක්ෂා කළ විනිසුරුවෝ සිවුවැනි දිනයේදී එක් පන්දුවක් හෝ නොයවාම තරගය අත්හිටුවීමට තීරණය කළහ. ‍ඊයේ දිනයේදී ඕවර 5.2 ක් යැවීමට හැකි වුවද, වර්ෂාව හේතුවෙන් අද දිනයේදී තරගය ආරම්භ කිරීමට පවා නොහැකි තත්වයක් පැවැතිණ. හෙට (14 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

...................................................................................................................

පෙරවරු 12.20

තවමත් තරගය ආරම්භ කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බව වාර්තා වන අතර සුපර් සෝපර් යන්ත්‍ර මගින් ක්‍රීඩාංගණයේ වතුර ඉවත් කරන අයුරු දැකගත හැකිය. මෙම වේලාව දිවා අහාරය සඳහා සඳහා වෙන්කර ඇති අතර දිවා ආහාරයෙන් අනතුරුව විනිසුරුවන් යළිත් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමට නියමිතය. ‍කෙසේ වුවත් අද දිනයේදී තරගය ආරම්භ කීරීම සැක සහිත බව විස්තර විචාරකයෝ පවසති.

...................................................................................................................

පෙරවරු 9.45

පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්න ප්‍රදේශය තෙත බරිත විම නිසා සිවුවැනි දිනයේ තරග ආරම්භය පමාවේ. පාකිස්තානයේ රාවල්පිණ්ඩි සිට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය අදික ශීතලකින් සහ අඳුරකින් වැසී පවතී.

...................................................................................................................

පස්වරු 04.05

මන්දාලෝක තත්වය යහපත් නොවීම හේතුවෙන් පස්වරු 4.05 ට පමණ තරගයේ තෙවැනි දිනය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය ඕවර 5.2 කට සීමාවූ අතර මෙම දින 3 තුලදී ඕවර 178.1 ක් අපතේ ගියේය. හෙට (14 වැනිදා) තරගයේ සිවුවැනි දිනයයි.

...................................................................................................................

ඕවර 91.5 කදී - 6/282

ඕවර 91.5 ක් අවසානයේ මන්දාලෝක තත්වයක් හේතුවෙන් තරගය නතර කිරීමට සිදුවිය. පැය තුන හමාරක ප්‍රමාදයකින් පසුව ඇරඹි තරගය මිනිත්තු 26 කට සීමාවූ අතර යැවීමට හැකිවූයේ ඕවර 5.2 න් පමණි. එහිදී ලකුණු 19 ක් ශ්‍රී ලංකා ඉනිමට එක්විය.

ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 282 ක් රැස්කර සිටි අතර ධනංජය ද සිල්වා ලකුණු 87 සහ ඩිල්රුවන් ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු 151 කට මුහුණදී සිටි ධනංජය ද සිල්වාගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර ඩිල්රුවන් පෙරේරා පන්දු 18 කට මුහුණදී සිටියේය. ඔවුන්‍ දෙදෙනා ඒ වන විට ඉතාමත් ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහරදෙමින් සිටියහ.

...................................................................................................................

පස්වරු 12.05

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භ කිරීමට විනිසුරුවන් තීරණය කරති.

...................................................................................................................

පෙරවරු 11.45

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියට පැමිණ ව්‍යායාම්වල නිරත වන අතර විනිසුරුවරුන් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමේ කටයුතු වල නිරත වෙති.

...................................................................................................................

පෙරවරු 10.15

පෙරදින රාත්‍රියේ ඇතිවූ වර්ෂාව හේතුවෙන්  ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ආසන්න ප්‍රදේශය තෙත බරිත විම නිසා තරග ආරම්භය පමාවේ. පාකිස්තානයේ රාවල්පිණ්ඩි සිට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ක්‍රීඩාංගණය ඉහළ පැහැබර අහසක් දැක ගන්නට ඇත.

...................................................................................................................

ඕවර 86.3 කදී - 6/263

වර්ෂාව හේතුවෙන් නතර කළ තරගය පස්වරු 1.45 ට පමණ නැවත ආරම්භ කෙරුණ නමුත් ඕවර 10.3 ක් යැවීමෙන් අනතුරුව මන්දාලෝක තත්වය හේතුවෙන් දෙවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටි අතර ධනංජය ද සිල්වා හතරේ පහර 11 ක් සමග ලකුණු 72 ක්ද, ඩිල්රුවන් පෙරේරා ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ඊයේ දිනය (11 වැනිදා) සඳහා තරගය නතර විට කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 61 ක් එක්කර ගතේය. එහිදී පාකිස්තාන පන්දු යවන්නන්ට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි.

අද දිනයේදී බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 කට දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් දෙමිනි. පන්දු 63 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 44 ක් ඇතුළත් විය.

...................................................................................................................

ඕවර 76 කදී - 5/222

දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වී ඕවර 8 යැවීමෙන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටියේය. දිනයේ මුල් ඕවර 8 තුළදී එකදු කඩුල්ලක් හෝ දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නන්ට ඉඩක් නොදීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ වග බලාගත්හ.

එහිදී පන්දු 94 කින් හතරේ පහර 7 ක් සමග සිය 6 වැනි ටෙස්ට් අර්ධ ශකතය සම්පූර්ණ කිරීමට ධනංජයද සිල්වා (නොදැවී 54) සමත් විය. තරගය නතර කරන විට නිරෝෂන් දික්වැල්ල (නොදැවි 15) සමග එක්ව ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ධනංජය ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 33 කි.

නෂීම් ෂා යැවූ ශ්‍රී ලංකා ඉනිමේ 74 වැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය දැවී ගියද, පුනුරූපන නැරඹීමේදී කඩුලු රකින්නා අතට පත්වීමට පෙර පන්දුව බිම පතිතවන බව තහවුරු වීම නිසා ඔහුට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව හිමිවිය.

...................................................................................................................

ඕවර 68.1 කදී - 5/202

මන්දාලෝක තත්වය හේතුවෙන් පළමු දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වා හතරේ පහර 6 ක් සමග ලකුණු 38 ක්ද නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 2 ක් සමග ලකුණු 11 ක්ද ලබා සිටියහ.

පළමු දිනයේදී තවත් ඕවර 22 ක් යැවීමට නියමිතව තිබුණද මන්දාලෝක තත්වය හේතුවෙන් ඕවර 68.1 ක් අවසානයේ තරගය නතර කිරීමට විනිසු‍රුවෝ තීරණය කළහ. විශේෂඥ දඟ පන්දු යවන්නකු නොමැති වීම නිසා අද දිනයේදී යැවුණ ඕවර 68 න් ඕවර 66 ක්ම යැවීමට වේග පන්දු යවන්නන් සිවුදෙනාට සිදු වූහ. 

එහිදී 16 හැවිරිදි නසීම් ෂා ලකුණු 51 කට කඩුලු 2 බිඳහෙළු අතර මොහොමඩ් අබ්බාස්, ශහීන් අෆ්රිඩි සහ උස්මාන් ශින්වරි එක් කඩුල්ල බැගින් දවාගැනිමට සමත් වූහ. හාරිස් සොහේල් සහ ශාන් මක්සූද් එක් ඕවරය බැගින් යැවූහ.

...................................................................................................................

ඕවර 64 කදී - 5/193

දක්ෂ ‍ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඇන්ලෝ මැතිව්ස් ලකුණු 31 කට දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 62 කට සීමා කිරීමට නසීම් ෂා සමත්ව විය. ස්ලිප්හි පන්දු රකිමින් සිටි අසාද් ශෆීක්ගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ දැවීයන විට මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත වී තිබිණ.

ඕවර 64 ක් අවසානයේ කඩුල්ලේ රැදී සිටි ධනංජය ද සිල්වා හතරේ පහර 6 ක් සමග ලකුණු 36 ක් ලබා සිටි අතර හත්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල හතරේ පහරක් සමග ලකුණු 4 ක් ලබා සිටියේය.

...................................................................................................................

ඕවර 56 කදී - 4/154

ඕවර 56 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 150 සීමාව පසුකර ගිය අතර ඒ වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු 57 කට මුහුණදී සිටි මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 37 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය. ඔවුන්‍ දෙදෙනා මේ වන විට ඉතාමත් ආරක්ෂාකාරී ලෙස මනා සංයමයකින් යුතුව පන්දුවට පහරදෙමින් සිටිති.

...................................................................................................................

ඕවර 50 කදී - 4/137

තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 4 අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ ලකුණු 137 ක් ලබා සිටියේය. තරගය නතර කරන විට ආරක්ෂාකාරී පිතිහරඹයක නිරත වෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 3 ක්ද ලබා සිටියහ.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 89 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට දිවා ආහාරයෙන් අනතුරුව තේ පානය දක්වා කාලය තුළ ලබාගත හැකි වූයේ ලකුණු 48 ක් පමණි.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 59 කටද, ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 කටද, කුසල් මෙන්ඩිස් ලකුණු 10 කටද, දිනේෂ් චන්දිමාල් ලකුණු 2 කට පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන වේග පන්දු යවන්නෝ සමත් වූහ.

...................................................................................................................

ඕවර 45 කදී - 4/129

මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 2  කට දැවී ගියේය. ඒ අනුව සිය අවසන් ඉනිම හය තුළ ඔහුට රැස්කරගත හැකි වී ඇත්තේ ලකුණු 32 ක් පමණි.

දිවා ආහාරය දක්වා කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහදුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයෙන් පසුව කඩුලු 4 ක් අහිමි කරගත්තේය. ඕවර 45 ක් නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 8 ක් ලබා සිටි අතර හයවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා ලකුණු 2 ක් ලබා සිටියේය.

...................................................................................................................

ඕවර 42 කදී - 3/120

උස්මන් ෂින්වරිගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්වෙමින් කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට පහසු උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් 10 කට දැවී ගියේය. මෙම ඉනිමත් සමග අවසන් වරට ක්‍රීඩා කළ ඉනිම් 7 දී ඔහු ලකුණු ලබාගත් ආකාරය 84*, 16, 10, 53, 20, 32, 10 ‍ක් ලෙස සටහන් වේ.

ඕවර 42 ක් නිමාවන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 3 ක් ලබා සිටි අතර පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.

චන්දිමාල් ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ මාස 9 කට පසුව වන අතර අවසන් වරට ඔහු සහභාගි වී ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකටය. ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම් පහ 6, 0, 5, 4, 15 ක් ලෙස සටහන් වේ.

...................................................................................................................

ඕවර 36 කදී - 2/109

දහසය හැවිරිදි නසීම් ෂාගේ දෙවැනි ටෙස්ට් කඩුල්ල ලෙස ස්ලිප්හි පන්දු රකිමින් සිටි හාරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 40 කට දැවී ගියේය. දක්ෂ ලෙස පන්දුවට පහරදුන් ඕෂධගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

ඕවර 36 ක් නිමාවන විට කුසල් මෙන්ඩිස් ලකුණු 2 ක් ලබා සිටි අතර සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.

අවසන් වරට සහභාගි වූ ඇති ටෙස්ට් තරග 3 දී ඉනිම් හයක් තුළ ලකුණු 215 ක් රැස්කිරීමට කුසල් සමත්වී ඇත්තේ අර්ධ ශතක 2 ක්ද සමගිනි. එහිදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 43 ක අගයක් ගනී.

...................................................................................................................

ඕවර 31 කදී - 1/97

දිවා ආහාරයෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණ පස්වැනි ඕවරයේ පළමු පන්දුවේදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් නායක දිමුත් කරුණාරත්න ලකුණු 59 කට දැවී ගියේය. ශහීන් අෆ්රිඩි පැයට කිලෝ මීටර් 140.9 ක වේගයකින් දිමුත්ට එම පන්දුව යොමු කළේය.

ඕවර 31 ක් නිමාවන විට ඕෂධ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 31 ක්ද, තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් එක් ලකුණක්ද ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ.

පාකිස්තාන නායකයා දිගින් දිගටම වේග පන්දු යවන්නන් යොදාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක් කිරීමේ උත්සාහයක නිතර වී සිටියි.

...................................................................................................................

ඕවර 26 කදී - 0/89

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඕවර 26 ක් අවසානයේ ලකුණු 89 ක් ලබාගත් සිටි අතර එහිදී දිමුත්, හතරේ පහර 9 ක් සමග ලකුණු 57 ක්ද, ඕෂධ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද ලබා සිටියහ.

පන්දු 90 කදී හතරේ පහර 8 ක් සමගින් දිමුත් සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. දිවා ආහාරයට පෙර ක්‍රියාත්මක වූ අවසන් ඕවරයේ පස්වැනි පන්දුව ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් මගින් හතරේ සීමාවට ඉහළින් යැවීමට ඕෂද සමත් විය.

මුල් ඕවර 25 නිමාවන තෙක්ම පන්දු යැවීම සඳහා වේග පන්දු යවන්නන් පමණක් යොදාගත් පාකිස්තාන නායක අසාර් අලී දිවා අහාරයට තරගය නතර කිරීමට පෙර අවසන් ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක හාරිස් සොහේල් කැඳවීය.

...................................................................................................................

ඕවර 20 කදී - 0/59

කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඕවර 20 ක් අවසානයේ ලකුණු 59 ක් ලබාගත් සිටි අතර එහිදී දිමුත්, හතරේ පහර 6 ක් සමග ලකුණු 43 ක්ද, ඕෂධ හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා සිටියහ.

පිතිකරුවන් දෙදෙනාම ඉතමත් ඉවසිලිමත් ලෙස පන්දුවට පහර දෙන අතර දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කරන අයුරු දක්නට ලැබේ. දිමුත් කෙමෙන් කෙමෙන් සිය 24 වැනි ටෙස්ට් අර්ධ ශතකට ලගා වෙමින් සිටියි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ලකුණු 120 ක් බෙදා ගැනීම සඳහා තරග වදින මෙම තරගාවලිය සෝනි සික්ස් සහ ටෙන් ක්‍රිකට් නාලිකා ඔස්සේ විකාශනය වන අතර තවමත් එය විකාශනය කෙරෙන දේශීය නාලිකාවක් නිවේදනය කර නොමැත.

...................................................................................................................

ඕවර 15 කදී - 0/45

කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඕවර 15 ක් අවසානයේ ලකුණු 45 ක් ලබාගත් සිටි අතර එහිදී දිමුත්, හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, ඕෂධ හතරේ පහරක් සමග ලකුණු 7 ක්ද ලබා සිටියහ.

දිමුත් කරුණාරත්න ලකුණු 33 කට ගැසූ හතරේ පහර 4 ම කඩුල්ලට පසුපසින් ලබාගත් ඒවා වුවත්, ඕෂධගේ ලකුණු 5 ට ගැසූ එකම හතරේ පහර අලංකාර ඕෆ් ඩ්‍රයිව් පහරක් විය. 

මේ දක්වා ටෙස්ට් තරග 3 කට ක්‍රීඩා කර ඇති ඕෂධ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වන අතර එහිදී ඔහුට පළමු ලකුණ ලබාගැනීම සඳහා පන්දු 20 ක් වැය විය.

...................................................................................................................

ඕවර 10 කදී - 0/30

කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඕවර 10 ක් අවසානයේ ලකුණු 30 ක් ලබාගත් සිටි අතර එහිදී දිමුත්, හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි අතර ඕෂධ තවමත් ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.

මුත්තයියා මුරලිදරන් 2009 වසරේදී කුරාම් මන්සූර්ට පාකිස්තාන භූමිය තුළදී යැවුණ අවසන් පන්දුව යොමු කළ අතර ඉන් වසර 10 කට පසුව මොහොමඩ් අබ්බාස් 2019 වසරේදී දිමුත් කරුණාරත්නට පාකිස්තාන භූමිය තුළදී යැවුණ පළමු පන්දුව යොමු කළේය.

...................................................................................................................

ඕවර 5 කදී - 0/19

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු තරගයේ මුල් ඕවර 5 තුළදී කඩුලු ආරක්ෂා කරගනිමින් ලකුණු 19 ක් රැස්කළහ.

එහිදී දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි දිමුත්, හතරේ පහර 2 ක් සමග ලකුණු 15 ක් ලබා සිටි අතර ඕෂධ තවමත් ලකුණු ලබාගැනීම ආරම්භ කර තිබුණේ නැත.

...................................................................................................................

ඡායාරූප අනුග්‍රහය - රොෂාන් අබේසිංහ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන රාවල්පින්ඩිහිදී අද (11 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූ දිනේෂ් චන්දිමාල් මෙම තරගයේදී යළිත් කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර රෝගාතුර වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ ස්ථානය විශ්ව ප්‍රනාන්දුට හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ළහිරු කුමාර

පාකිස්තාන කණ්ඩායම

අසාර් අලී (නායක), ශාන් මක්සූද්, අබිඩ් අලී, බාබර් අසාම්, හාරිස් සොහේල්, අසාද් ශෆීක්, මොහොමඩ් රිස්වාන්, උස්මාන් ශින්වරි, මොහොමඩ් අබ්බාස්, නසීම් ශා සහ ශහීන් අෆ්රිඩි


අදහස් (0)

ශ්‍රී ලංකාව පළමු ඉනිම අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.