Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැලසුම් සහගතව බර ඉසිලීම

සැලසුම් සහගතව බර ඉසිලීම

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර ඉසිලීමේ පාඩම හරියටම උගන්වා තිබේ. එසවීමට ඇති බර කොපමණද, එහි සමබර දණ්ඩ කුමක්ද, බර ග්‍රහණය කරගත යුත්තේ කොතැනින්ද, වෙහෙස අවම ප්‍රමාණයක පවත්වා ගනිමින් සියලු ශක්තීන් එක්තැන් කර නිවැරදි ක්‍රමයට බර එසවිය යුත්තේ කෙලෙසද යන්න ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින්ම උගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම බර ඉසිලීමේ පාඩම කියාදුන්නේ කවුරුන් විසින් වුවද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙන්ම පිතිහරඹ පුහුණුකරු තිලාන් සමරවීරත් පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායකත් එහි ප්‍රබල කොටස්කරුවන් බව පිළිගත යුතුව තිබේ.

ඉන්දීය පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තමන් හමුවේ තිබූ ලකුණු 175 අභියෝගය කරා අවතීර්ණ වූයේ සැලසුම් සහගත ආකාරයෙනි. පළමු ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 6 ක් පමණක් වුවද ඉතිරි ඕවර 5 න් ලකුණු 69 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. අධිවේගී ඕවර 6 නිමා වෙද්දී ලකුණු 75 ක් පුවරුවේ තිබිණ. ඉතිරි ලකුණු 100 කරා යාමට තවත් ඕවර 14 ක් අතැතිව තිබිණ.

“පළමු ඕවර 6 දී අපි ආක්‍රමණය කරා යා යුතුවම තිබුණා. ඉලක්කය ලකුණු 175 ක් වුණ නිසා අපට කිසියම් ජවයක් ඕනෑ කළා. ඇරත් මේක විස්සයි-20 ක්‍රිකට් නේ. ඉතින් අපි ආක්‍රමණයට ගියා” යයි පන්දු 37 කදී ලකුණු 66 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පදනම දැමූ කුසල් ජනිත් පෙරේරා තරගයෙන් පසුව කියා සිටියේය.

ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් එක්දින තරගාවලියත් විස්සයි-20 තරගාවලියත් අහිමි කරගත් කුසල් ජනිත් නැවතත් කණ්ඩායමට එක්වූයේ ජවය කැටිකළ පිතිහරඹයකින් කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන යමිනි.

බංග්ලාදේශයේදී පැවැති තරගාවලියේ වීරයා වූ කුසල් මෙන්ඩිස් දෙවැනි ඕවරයේදීම දැවී ගිය නමුත් ඒ වෙනුවට පැමිණි කුසල් පෙරේරා කණ්ඩායමේ බර කරට ගත්තේය. මුහුණ දුන් දෙවැනි පන්දුවටම හයේ පහරකින් සංග්‍රහ කළ කුසල් ජනිත් වේග පන්දු යවන ශර්දුල් ඨාකූර්ගේ පළමු ඕවරයෙන් ලකුණු 27 ක් උදුරා ගත්තේ චිත්තාකර්ශනීය පහර කිහිපයකින්ම ඔහුට සංග්‍රහ කරමිනි. ඒ අතුරින් පන්දු යවන්නාගේ අත යටින් ගැසූ ස්ටේ්‍රට් ඩ්‍රයිව් පහරත් එක්ස්ට්‍රා කවර්ස්ට ඉහළින් ගැසූ හයේ පහරත් නරඹන්නන්ට කලකට අමතක නොවනු ඇත.
“මම එයාට එහෙම ගහන්න හිතුවේ නෑ. ඒත් එයා පන්දුව එක්කෝ මැද අතඇරියා නැත්නම් පිත්තටම එව්වා.

පන්දු දෙක තුනකට පස්සේ එයාට ගහන්න පුළුවන් කියලා මම හිතාගත්තා....ඇරත් මේක විස්සයි-20 තරගයක් නේ. මම ආක්‍රමණයට ගියා” යයි ශර්දුල් ඨාකූර් හමුවේ කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කුසල් පැවසීය.
වමත් පිතිකරුවා එක අන්තයකින් සිය ආක්‍රමණය පවත්වාගෙන යද්දී සෙසු පිතිකරුවෝත් ඔහුගේ රිද්මයම පවත්වා ගනිමින් ඉදිරියට ගියහ. කෙසේ වෙතත් ඕවර 15 ක් නිමා වන විට ඉන්දියානුවෝ නැවතත් තරගයේ ග්‍රහණය දැඩිකිරීමට සූදානම් වූයේ ඒ වන විට කුසල්ගේ තර්ජනය නිමා වී තිබූ බැවිනි.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු 24 න් ලකුණු 35 ක් අවශ්‍යව තිබිණ. තිසර පෙරේරා සහ දසුන් ශානක පිටියේ සිටියහ. කණ්ඩායමේ බර ඔවුන් දෙදෙනා වෙත පැටවී තිබුණද බර ඉසිලීමේ පාඩම ඔවුන් දෙදෙනාත් දැන සිටියහ.

ඊළඟ ඕවර 2දී ලකුණු 27 ක් එක්වූවත් එහි තිබුණේ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් පමණි. ඉතිරි ලකණු සියල්ලම ඉතා විශිෂ්ට අයුරින් කඩුලු අතර දිවයමින් ලබාගත් ඒවා විය. තරගය අවසන් වන විට තිසර පෙරේරා පන්දු 10 කදී ලකුණු 22 ක් ලබා සිටියේ 220 ක ප්‍රවේගයක් (ප්‍රහාරාත්මක වේගයක්) රඳවා ගනිමිනි. දසුන් ශානකගේ ප්‍රවේගය 83.33 ක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම දෙනාට බර ඉසිලීමේ පාඩම හොඳින් උගන්වා ඇතැයි මුලින්ම කීවේ එබැවිනි.
“කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය ඉතාමත් හොඳින් අපිත් එක්ක අදහස් හුවමාරු කරගන්නවා. තරගයකදී වගේම පුහුණුවීම්වලදීත් ඔවුන් අපිත් එක්ක කටයුතු කරන ආකාරය ඉතාමත් හොඳයි. මේ පුහුණු කාර්යමණ්ඩලය ඉතාමත් හොඳ සේවයක් කරනවා” යයිද කුසල් ජනිත් තරගයෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. ඒබ ව පෙනෙන්නටද තිබේ.

ආබාධයකට ලක්ව සිටීමෙන් පසුව කණ්ඩායමට එක්වූ නමුත් දේශීය තරග වලදී හොඳින් ලකුණු ලබාගත් හෙයින් නැවතත් කණ්ඩායමට පිවිසීමේදී අවශ්‍ය ආත්ම විශ්වාසය කුසල්ට තිබිණ.

තරගයේ අධිවේගී (පලමුවෙන්ම යවනු ලබන) ඕවර 6 ඇතුළත ඉන්දීය පිලට ලබාගත හැකිවූයේ ලකුණු 40 ක් පමණි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 6 කදී ලකුණු 75 ක් ලබාගැනීම හේතුවෙන් තරගයේ වාසිය කල්තබාම ශ්‍රී ලංකා පිල වෙත ඇදී ඒම වැළැක්විය නොහැකි විය. එවන් තත්ත්වයකදී මැදින් සිදුවන හානිය මඟහරවාගැනීමට කාලය තිබේ.

“ඔවුන් තරගය අපෙන් ඉවතට ඇදගෙන ගියේ පළමු ඕවර 6 ඇතුළතදීමයි....පළමු ඕවර 10 අවසන් වුණාම ඒගොල්ලන්වත් ඒ තරම් වේගයෙන් ලකුණු ලබාගත්තේ නෑ....ඒක මේ දඟ පන්දු යවන්නන් හමුවේ ඕවරයකදී ලකුණු 10 ක් ගානේ ගන්න පුළුවන් තණතීරුවක් නෙමේ..ඒක මන්දගාමී තණතීරුවක්” යයි ඉන්දීය ආරම්භක පිතිකරු ෂිකාර් ධවාන් පැවසීය.

ඉන්දියානුවන් වුවද තරගයට පිවිසියේ පළමු ඕවර 6 දී හැකිතරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ අටියෙන් විය හැකිය. එහෙත් දුෂ්මන්ත චමීර විසින් රෝහිත් ෂර්මා දවාගනු ලැබීමත්, නුවන් ප්‍රදීප් විසින් සුරේෂ් රයිනා දවාගනු ලැබීමත් නිසා ඉන්දියානුවන්ගේ සැලසුම් අඩාල විය. ඊට කෙළින්ම වගකිව යුත්තා වූයේ පන්දුව පසුපස දිව යමින් විශිෂ්ට උඩපන්දු රැකීමක නිරත වු ජීවන් මෙන්ඩිස් මිස අනෙකකු නොවේ.

කුසල් පෙරේරා ජාතික කණ්ඩායමට එක්වූයේ ආරම්භක පිතිකරුවකු ලෙසින් වූවත් පිතිකරු ලයිස්තුවේ ඕනෑම තැනකින් පන්දුවට පහරදීමට පැමිණීම ඔහුට අභියෝගයක් නොවේ.

“ආරම්භක පිතිකරුවාගේ ස්ථානය මගේ අයිතියක් නොවේ. මට කණ්ඩායම ඇතුළේ කොයි ස්ථානය ලැබුණත් එයින් කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න මට පුළුවන් වෙන්න ඕනේ”

“ඒක තීරණය කරන්නේ කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ තේරීම් කමිටුවයි. මට තියෙන්නේ මට පවරන දේ කරන්නයි” යයි ටෙස්ට් තරගවලදී අංක 6 ස්ථානයේද පන්දුවට පහර දී ඇති වමත්කාරයා පැවසීය.

550(10)


ඡායාරූප  : ළහිරු හර්ෂණ

 


අදහස් (0)

සැලසුම් සහගතව බර ඉසිලීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.