Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිල්ලි පිල සුපිරි ඕවරය ජයගනී

දිල්ලි පිල සුපිරි ඕවරය ජයගනී

editorial - 2020 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති 2020 අයි.පී.එල්. තරවලියේ දෙවැනි තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඊයේ (20 වැනිදා) සමත් විය. එදා මෙදා තුර අයි.පී.එල්. ඉතිහාසයේ සුපිරි ඕවරයකදී ලද අඩුම ඉලක්කය හඹායමින් දිල්ලි ක්‍රීඩකයෝ මෙම තරගය ජයගත්හ.

දෙපිලේම ලකුණු සම වීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ. පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායමට එහි පන්දු 3 කදී කඩුලු 2 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා දිල්ලි කණ්ඩායමට ලකුණු 3 ක ඉලක්කයක් හිමිවූ අතර පන්දු 3 කදී එම ඉලක්කය සම්පූර්ණ කිරීමට දිල්ලි ක්‍රීඩකයෝ සමත් වූහ.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඕවරය යැවූ කගිසෝ රබාඩා එහි දෙවැනි පන්දුවේදී ලොකේෂ් රාහුල්ද, තෙවැනි පන්දුවේදී නිකලස් පූරන්ද දවාගනිමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ මාවත විවර කර දුන්නේය. පූරන් මෙම තරගය තුළදී ලකුණු නොළබා දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙසද එය සටහන් විය.

ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමටද නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 157 ක් පමණි. ජයග්‍රහණය සඳහා ඔවුන්ට අවසන් ඕවරයේදී ලකුණු 13 ක් අවශ්‍ය වූ අතර එහි පළමු පන්දු 3 දී හයේ සහ හතරේ පහරක් සමග ලකුණු 12 ක් රැස්කිරීමට මායන්ක් අගර්වාල් සමත් විය.

කෙසේ වුවත් සිවුවැනි පන්දුවට ලකුණු ලබා නොදුන් මාකස් ස්ටොයිනිස්, පස්වැනි සහ අවසන් පන්දු දෙකේදී අගර්වාල් (89) සහ ක්‍රිස් ජෝර්ඩ්න් (6) දවාගනිමින් තරගය සුපිරි ඕවරයක් දක්වා ගෙන ගියේය. තරගය පුරා පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දැකවූ දස්කම් හේතුවෙන් ස්ටොයිනිස් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය.

පන්දු 60 කදී වාර්තා වූ අගර්වාල්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය. ක්‍රිෂ්නප්පා ගෞතම් (20) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අගර්වාල්, ඉන් නොනැවතී 7 වැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රිස් ජෝර්ඩ්න් සමග එක්ව පන්දු 26 කදී ලකුණු 56 ක් සම්බන්ධතාවක්ද ගොඩනැගීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම මාකස් ස්ටොයිනිස්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. ලකුණු 84 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී 6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ස්ටොයිනිස් පන්දු 21 කදී වේගවත් ලකුණු 53 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් ලකුණු ලබාගැනීමටත් පෙර දුවද්දී දැවීයෑමකට හසුවෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ මොහොමඞ් සාමි ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගනිමින් දිල්ලි කණ්ඩායම තවත් අසීරු තත්වයකට ඇද දැමුවේය.

නායක ශ්‍රියාස් අයියර් (39) සහ රිෂාබ් පාන්ට් (31) එක්ව දිල්ලි කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 32 කට මුහුණදුන් අයියර්ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ පාන්ට්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.


දිල්ලි කැපිටල්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 කට 157
(ශ්‍රියාස් අයියර් 39, රිෂාබ් පාන්ට් 31, මාකස් ස්ටොයිනිස් 53, මොහොමඞ් ශාමි 15/3, ශෙල්ඩන් කොට්‍රල් 24/2)

කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 කට 157
(ලොකේෂ් රාහුල් 21, මායන්ක් අගර්වාල් 89, ක්‍රිෂ්නප්පා ගෞතම් 20, රවිචන්ද්‍රන් අෂ්වින් 02/2, කගිසෝ රබාඩා 28/2, මාකස් ස්ටොයිනිස් 29/2)

 

ඡායාරූප - අයි.පී.එල්. නිලවෙබ් අඩවිය අනුග්‍රහයෙනි

- 036


අදහස් (0)

දිල්ලි පිල සුපිරි ඕවරය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.