Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නයිජීරියාව පරදවති

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නයිජීරියාව පරදවති

editorial - 2020 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ නයිජීරියා වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (27 වැනිදා) පැවැත්වෙන පළඟ අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 233 ක දැවැන්ත ජයක් ලැබූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 307 ක ඉලක්කයක් හඹාගිය නයිජීරියා වයස 19 න් පහළ කණ්ඩායමට දිල්ෂාන් මධුෂංක ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 73 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ දිල්ෂාන් මධුෂංක ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගනිමින් නයිජීරියා යොවුන් ඉනිම අඩ පණ කළේය. කවිඳු නදීෂාන් ලකුණු 6 කට කඩුලු 3 ක්ද, චමිඳු විජේසිංහ ලකුණු 12 කට කඩුලු 2 ක්ද දවාගනිමින් නයිජීරියා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දිල්ෂාන්ට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තේය. දක්ෂ පිතිහරඹයක නිතර වූ රවිඳු රෂාන්ත පන්දු 111 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාණ ලකුණු 4 කට දැවී ගියද, එතැන් පටන් මොහොමඞ් ශමාස් (56) සමග එක්වූ රවිඳු, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

ඉන් නොනැවතුන රවිඳු, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක නිපුන් ධනංජය (37) සමග එක්ව පන්දු 50 කදී ලකුණු 56 ක්ද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් සොනාල් දිනූෂ (43) සමග එක්ව පන්දු 58 කදී ලකුණු 81 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව දක්වා ගෙන ගියේය.

පන්දු 73 කට මුහුණදුන් ශමාස් සිය අර්ධ ශතකය හතරේ පහර 7 කින් සැරසූ අතර පන්දු 36 කදී වාර්තා වූ ධනංජයගේ ඉනිම හතරේ පහර 7 කින්ද, පන්දු 36 කදී වාර්තා වූ දිනූෂගේ ඉනිම හතරේ පහර 5 කින්ද සමන්විත විය.


ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 306
(මොහොමඞ් ශමාස් 56, රවිඳු රෂාන්ත නොදැවී 102, නිපුන් ධනංජය 37, අහන් වික්‍රමසිංහ 17, සොනාල් දිනූෂ 43, චමිඳු විජේසිංහ 15, රෂීඞ් ඇබොලරින් 50/2)

නයිජීරියා පිල - ඕවර 17.3 කදී සියලු දෙනා දැවී 73
(අබ්දුල්රහමන් ජිමෝ 15, දිල්ෂාන් මධුෂංක 36/5, කවිඳු නදීෂාන් 06/3, චමිඳු විජේසිංහ 12/2)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ නයිජීරියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.