Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විලියම්සන් - ග්‍රැන්ඩෝම් නවසීලන්තයට ජය ගෙනෙති

විලියම්සන් - ග්‍රැන්ඩෝම් නවසීලන්තයට ජය ගෙනෙති

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේන් විලියම්සන් (නොදැවී 106) සහ කොලින් ඩි’ග්‍රැන්ඩෝම්ගේ (60) දක්ෂ පිතිහරඹය හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්තය අද (19 වැනිදා) සමත්විය. ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය ලෙස බර්මින්හැම්හිදී මෙම තරගය පැවැත්විණි.

ජයග්‍රහණය සඳහා ඕවර 49 කදී ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඕවර 48.3 කදී කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

නවසීලන්තයට අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 8 ක් අවශ්‍ය විය. මිචෙල් සැන්ටර් පළමු පන්දුවට ලකුණක් ලබාගනිමින් පැතිමාරු කළ අතර කේන් විලියම්සන් දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කිරීමට සමත්විය. තෙවැනි පන්දුවට හතරේ පහරක් එල්ල කළ විලියම්සන් නවසීලන්ත පිලේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත්විය.

12 වැනි එක්දින ශතකය පන්දු 137 කදී සම්පූර්ණ කළ කේන් විලියම්සන් නවසීලන්තයට ජය ගෙනදෙමින් පන්දු 138 කදී නොදැවී ලකුණු 106 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

ලකුණු 80 කට කඩුලු 4 ක් දැවී තිබියදී ජේම්ස් නීෂාම් සමගින් සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 85 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කේන් විලියම්සන් පස්වැනි කඩුල්ල සඳහා කොලින් ඩි’ග්‍රැන්ඩෝම් සමගින් පන්දු 89 කදී ලකුණු 91 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනගමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ කොලින් ඩි’ග්‍රැන්ඩෝම් ලකුණු 60 ක් රැස්කර සිටියදී ලුන්ගි න්ගිඩිගේ පන්දුවකට ෆෆ් ඩු‘ප්ලෙසීස් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. පන්දු 47 කට මුහුණදුන් කොලින් ඩි’ග්‍රැන්ඩෝම්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් අලංකාර විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 49 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 241 ක් රැස්කිරීමට සමත්විය.
හසීම් අම්ලා සහ රාසී වැන්ඩර්සන් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද සෙසු පිතිකරුවන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාවක් හිමිනොවීය.

මිචෙල් සැන්ටර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් හසීම් අම්ලා ලකුණු 55 කට දැවී ගිය අතර පන්දු 83 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ෆැෆ් ඩු‘ප්ලෙසීස් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 73 කදී ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වූ හසීම් අම්ලා තෙවැනි කඩල්ල සඳහා ඒඞ්න් මාක්‍රම් සමගින් එක්ව පන්දු 82 කදී ලකුණු 52 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ඉනිම අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටි රාසී වැන්ඩර්සන් පන්දු 64 කදී නොදැවී ලකුණු 67 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. වැන්ඩර්සන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර විය.

ලොකී ෆර්ගසන් කඩුලු 3 ක් ද ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි‘ග්‍රැන්ඩෝම් සහ මිචෙල් සැන්ටර් කඩුල්ල බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය. හතරේ සීමාව ආසන්නයේ තෙතබරිත ස්භාවයකින් යුක්තවීම හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර තරගය ඕවර 49 කට සීමාවිය.


දකුණූ අප්‍රිකාව - ඕවර 49 කදී කඩුලු 6 ක් දැවී 241
(හසීම් අම්ලා 55, ෆැෆ් ඩු‘ප්ලෙසීස් 23, ඒඞ්න් මාක්‍රම් 38, රාසී වැන්ඩර්සන් නොදැවී 67, ඬේවිඞ් මිලර් 36, ලොකී ෆර්ගසන් 59/3)

නවසීලන්තය - ඕවර 48.3 කදී කඩුලු 6 ක් දැවී 245
(මාටින් ගප්ටිල් 35, කේන් විලියම්සන් නොදැවී 106, ජේම්ස් නිෂාම් 23, කොලින් ඩි’ග්‍රෑන්ඩෝම් 60, ක්‍රිස් මොරිස් 49/3)

 

 

...


අදහස් (0)

විලියම්සන් - ග්‍රැන්ඩෝම් නවසීලන්තයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.