Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව චමරි - ක්‍රීඩකයෙක් නෑ

වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව චමරි - ක්‍රීඩකයෙක් නෑ

editorial - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ක්‍රීඩිකාවන්ගේ වසරේ දස්කම් ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව වශයෙන් චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය. එහෙත් වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය පිරිනැමීම සඳහා සුදුසු ක්‍රීඩකයකු ජාතික තේරීම් කමිටුවෙන් නිර්දේශ කර නොතිබිණ.

හේතුව අවශ්‍ය ප්‍රමාණයට ක්‍රීඩකයන්ගේ දස්කම් නොතිබීමයි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෙවී යමින් පවතින වසරේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ කිහිපය හැරෙන්නට එක්දින සහ විස්සයි-20 තරග ක්ෂේත්‍ර දෙකේදීම මුහුණ දී සිටි කඩා වැටීම බැලූ කල්හි එය පුදුමයට කාරණාවක්ද නොවේ.

පසුගිය වසර පහේදීම වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයෝ ලෙස රංගන හේරත් (2013 සහ 2017) සහ ඇන්ජලෝ මැතිව්ස් (2014, 2015 සහ 2016) සම්මාන දිනාගත්හ. රංගන හේරත් මේ වන විට ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් ගෙවී යමින් පවතින වසරේදී ක්‍රීඩා කළේ සීමිත තරග සංඛ්‍යාවකට පමණි.

වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වූ චමරි අතපත්තු සම්මාන 4 ක් දිනා ගැනීමට සමත් වූවාය. පිරිමි අංශයේදී  ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ද්විත්ව සම්මාන දිනාගත්හ.

කොළඹ වෝටර්ස් එජ් හිදී ඊයේ (03 දා) පැවැති මෙම සම්මාන රාත්‍රියේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමිකම් කියන ලද ක්‍රීඩිකාව බවට පත්වූයේද විස්සයි-20 තරග නායිකා චමරි අතපත්තුය. ඇය වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය, වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව සහ වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණිය යන සම්මානද දිනාගත්තාය.  

සම්මාන 4 ක් දිනාගත් නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උත්සවයට සහභාගිවීමේ අවස්ථාව අතපත්තුට අහිමි විය. ඇය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා විදෙස් ගතව සිටී.

2018 වසරේ ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂතා ඇගැයීම අරමුණු කරගනිමින් පැවැති මෙම සම්මාන උළෙලේ ජාත්‍යන්තර අංශය යටතේ සම්මාන 17 ක් පිරිනැමුණු අතර එහිදී එක්දින සහ විස්සයි-20 තරග අංශයන්හි දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන ලසිත් මාලිංග විසින් දිනාගන්නා ලදි. එක්දින තරග අංශයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ දක්ෂතම විස්සයි-20 පිතිකරු යන සම්මාන තිසර පෙරේරාට හිමිවිය.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කරන ලද විශිෂ්ඨතම සේවාව අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මානයෙන් ඩේලි මිරර් පුවත් පතේ ශාමිල් අමිත් සහ හිටපු ප්‍රවීන විස්තර විචාරකයකු වන කමල් දේශප්‍රිය යන මහත්වරු පිදුම් ලැබූහ.

නැගී එන ක්‍රීඩක සම්මානයෙන් පැතුම් නිස්සංක පිදුම් ලැබූ නමුත් එම සම්මානය ලබා ගැනීම සඳහා ඔහුට වේදිකාවට පැමිණීමට අවකාශ නොවීය. දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට පැවැත්වෙන ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම සඳහා පැතුම් නිස්සංක නේපාලය බලා ගොස් සිටීම එයට හේතුවිය.

වසරේ ක්‍රිකට් සම්මාන

සම්මානය ක්‍රීඩකයා
අන්තර්ජාතික අංශය  
පිරිමි අංශය  
වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු දිමුත් කරුණාරත්න
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ඩිල්රුවන් පෙරේරා
වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා ධනංජය ද සිල්වා
වසරේ දක්ෂතම එක්දින පිතිකරු කුසල් ජනිත් පෙරේරා
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා ලසිත් මාලිංග
වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා තිසර පෙරේරා
වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකරු තිසර පෙරේරා
වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නා ලසිත් මාලිංග
වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා ඉසුරු උදාන
වසරේ නැගී එන ක්‍රීඩකයා පැතුම් නිස්සංක
කාන්තා අංශය
වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය චමරි අතපත්තු
වසරේ දක්ෂතම එක්දින පන්දුයවන්නිය ඕෂදී රණසිංහ
වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව චමරි අතපත්තු
වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණිය චමරි අතපත්තු
වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නිය ශෂිකලා සිරිවර්ධන
වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාව ශෂිකලා සිරිවර්ධන
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු
දේශීය අංශය  
පිරිමි  
පළමු පෙළ - ‘ඒ’ තලයේ ලීග් ශූරතාව  
දක්ෂතම පිතිකරු ඕෂධ ප්‍රනාන්දු(හලාවත මේරියන්ස්)
දක්ෂතම පන්දු යවන්නා මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී.)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සචිත්‍ර සේරසිංහ (ටැමිල් යුනියන්)
ශූරතාව කොළඹ ක්‍රිකට් සමාජය
අනුශූරතාව සැරසන්ස් ක්‍රීඩා සමාජය
පළමු පෙළ -  ‘බී’ තලයේ ලීග් ශූරතාව  
දක්ෂතම පිතිකරු දමිත් පෙරේරා (කුරුණෑගල යොවුන්)
දක්ෂතම පන්දු යවන්නා දිනුක් හෙට්ටිආරච්චි (පොලිස්)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ගීත් කුමාර (ලංකන්)
ශූරතාව නාවික හමුදාව
අනුශූරතාව ලන්කන් ක්‍රීඩා සමාජය
පළමු පෙල සීමිත පන්දුවාර ශූරතාව  
දක්ෂතම පිතිකරු සචිත්‍ර සේනානායක (එස්.එස්.සී.)
දක්ෂතම පන්දු යවන්නා නිශාන් පීරිස් (රාගම)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සචිත්‍ර සේනානායක (එස්.එස්.සී.)
ශූරතාව එස්.එස්.සී.
අනුශූරතාව කොළඹ ක්‍රීඩා සමාජය
පළමු පෙළ විස්සයි-20 ශූරතාව  
දක්ෂතම පිතිකරු දිනේෂ් චන්දිමාල් (එන්.සී.සී.)
දක්ෂතම පන්දු යවන්නා මාලින්ද පුෂ්පකුමාර (සී.සී.සී.)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සීකුගේ ප්‍රසන්න (යුද හමුදා)
ශූරතාව එන්.සී.සී.
අනුශූරතාව මුවර්ස්
කාන්තා  
පළමු පෙළ කාන්තා සීමිත පන්දුවාර ශූරතාව  
දක්ෂතම පිතිකාරිණිය යසෝදා මෙන්ඩිස් (ගුවන් හමුදාව)
දක්ෂතම පන්දු යවන්නිය ඉනෝකා රණවීර (නාවික හමුදාව)
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව චමරි පොල්ගම්පොල (ගුවන් හමුදාව)
 සමශූරතාව නාවික හමුදාව සහ හලාවත මේරියන්ස්
   
විශේෂ සම්මාන  
වසරේ අන්තර්ජාතික ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන
වසරේ දේශීය ක්‍රිකට් විනිසුරු ලින්ඩල් හැනිබල්
වසරේ තරග තීරක මනෝජ් මෙන්ඩිස් 
මුද්‍රිත අංශයේ ක්‍රිකට් මාධ්‍යවේදී සම්මානය ශාමිල් අමිත් (ඩේලි මිරර්)
විද්‍යුත් අංශයේ ක්‍රිකට් මාධ්‍යවේදී සම්මානය කමල් දේශප්‍රිය 

 

වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු - දිමුත් කරුණාරත්න

වසරේ දක්ෂතම තුන් ඉරියව් එක්දින ක්‍රීඩකයා, වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකරු - තිසර පෙරේරා

වසරේ දක්ෂතම එක්දින, විස්සයි-20 පන්දු යවන්නා - ලසිත් මාලිංග

වසරේ දක්ෂතම එක්දින පිතිකරු - කුසල් ජනිත් පෙරේරා

වසරේ දක්ෂතම තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයා - ධනංජය ද සිල්වා

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - ඩිල්රුවන් පෙරේරා

සම්මාන හතරක් දිනූ වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව - චමරි අතපත්තු

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට්


අදහස් (0)

වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව චමරි - ක්‍රීඩකයෙක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.