Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝහිත් ෂර්මාගේ දඬුවම් නතර නොවේ

රෝහිත් ෂර්මාගේ දඬුවම් නතර නොවේ

editorial - 2019 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට දඬුවම් දීම තවදුරටත් නතර නොකළ රෝහිත් ෂර්මා රංචිහිදී අද (19 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදීත් ශතකයක් ලබාගත්තේය. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී රෝහිත් ෂර්මා ලබාගත් තුන්වැනි ශතකය මෙය වන අතර වර්ෂාව හේතුවෙන් අද පස්වරුවේ තරගය නතර කරන විට ඉන්දීය පිල කඩුලු 3 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියේය.

ඒ වන විටත් නොදැවී සිටි රෝහිත් ෂර්මා ලකුණු 117 ක් ද අජින්ක්‍යා රහනේ ලකුණු 83 ක් ද ලබා සිටියහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් කගීසෝ රබාඩාගේ පන්දු යැවීම හේතුවෙන් පළමු කඩුලු 3 ම ලකුණු 39 දී බිඳ වැටිණ. විරාට් කෝලි ලකුණු 12 කට දැවී ගිය අතර ඉන්දීය ටෙස්ට් පිලේ වඩාත්ම ස්ථාවර පිතිකරුවා ලෙසින් සැලකෙන අංක 3 පිතිකරු චෙටේස්වාර් පුජාරා ලකුණු නොලබා දැවී ගියේය. එහෙත් අජින්ක්‍යා රහනේ සමග එක්ව සිවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 185 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂර්මා දිවා ආහාරයෙන් පසුව කඩුල්ලක් දවාගැනීමේ අවස්ථාව දකුණු අප්‍රිකානුවන්ට අහිමි කළේය.

එක්දින ක්‍රීඩකයකු ලෙසින් ලේබල්ගත කරනු ලැබ සිටි රෝහිත් ෂර්මා ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පැමිණියේ මෙම තරගාලියේදීමය. ආරම්භක පිතිකරුවා වූ පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශතක ලබාගත් රෝහිත් තරමක් පරෙස්සමෙන් සිය අර්ධ ශතකය ලබාගත් නමුත් එයින් පසුව අත දිගහැර පහර දෙන්නට විය.

වර්ෂාව පැමිණෙන විට ලකුණු 95 ක් ලබා සිටි රෝහිත් “දැන්ම නෙමේ.... දැන්ම නෙමේ” යයි කිහිප වරක්ම කියනු කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් අසන්නට ලැබිණ. ඔහුගේ අදහස වූයේ ප්‍රමාද කරන්නයි වර්ෂාවෙන් ඉල්ලා සිටීමද නැතහොත් වර්ෂාව නිසා තරගය නතර කිරීම ප්‍රමාද කරන්න’යි විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටීමද යන්න පැහැදිළි නැත. එහෙත් ඊළඟට පන්දුවට මුහුණ දුන් අවස්ථාවේදීම පන්දුව නරඹන්නන් අතරට යවමින් රෝහිත් සිය 6 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය.

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරග වලදී ඉන්දියාව වනුවෙන් සිව්වැනි කඩුල්ල සඳහා හොඳම සම්බන්ධතාව ලෙසින් වාර්තා වූයේ විරාට් කෝලි සහ අජින්ක්‍යා රහනේ එක්ව පූනේ තරගයේදී ගොඩනැංවූ ලකුණු 178 යි. එහෙත් අද දිනයේදී රහනේ සමග එක්වූ රෝහිත් ෂර්මා එය ලකුණු 185 ක් දක්වා දීර්ඝ කළේ හෙට දිනයටත් කොටසක් ඉතිරි කරගනිමිනි.

ෂර්මා ලකුණු 7 ක් ලබා සිටියදී කගීසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි විනිසුරුවරයා තීරණය කළ නමුත් විතීවි ක්‍රමවේදය ඉල්ලා සිටි රෝහිත් ෂර්මා සිය කඩුල්ල ආරක්‍ෂා කරගත්තේ පන්දුව පිත්තේ වැදුණු බව හොඳින්ම දැනසිටි හෙයිනි. විරාට් කෝලිද තමන්ට එරෙහිව දුන් තීරණය සම්බන්ධයෙන් විතීවි ක්‍රමවේදය ඉල්ලා සිටි නමුත් නායකයා අසාර්ථක විය.

ආසියාවේදී පැවැති ටෙස්ට් තරග වලදී දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි පිට පිටම 9 වතාවක් කාසියේ වාසිය අහිමි කරගෙන තිබිණ. එබැවින් අද තරගයේදී කාසියේ වාසිය උරගා බැලීමට ටෙම්බා බවුමා යැවූ නමුත් 10 වැනි වරටත් දකුණු අප්‍රිකානුවෝ ආසියාවේදී කාසියේ වාසිය අහිමි කරගත්හ.

මෙම තරගයේදී කෝඩුකාරයෝ තිදෙනෙක් ටෙස්ට් වරම් දිනාගත්හ. දඟ පන්දු යවන ක්‍රීඩක ෂබාස් නඩීම් ඉන්දීය පිල වෙනුවෙන්ද කඩුලු රකින්නා වන හෙන්රික් ක්ලාසන් සහ වමතින් දඟ පන්දු යවන ජෝර්ජ් ලින්ඩි දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන්ද ටෙස්ට් හිස්වැස්ම දිනාගත්හ.


ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 3 ක් දැවී 224 යි
(මයාන්ක් අග්‍රවාල් 10, රෝහත් ෂර්මා නොදැවී 117, විරාට් කෝලි 12, අජින්ක්‍යා රහනේ නොදැවී 83, කගීසෝ රබාඩා 54/2)

..


අදහස් (0)

රෝහිත් ෂර්මාගේ දඬුවම් නතර නොවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.