Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝහිත්ගෙන් ද්විත්ව ශතකයක්

රෝහිත්ගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2019 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට පහර පිට පහර දුන් රෝහිත් ෂර්මා රංචිහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (20 වැනිදා) සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට සමත්විය. මෙය සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය වන නමුත් එක්දින තරග වලදී ද්විත්ව ශතක 3 ක් ලබාගැනීමට රෝහිත් ෂර්මා සමත්ව සිටී. එක්දින තරග වලදී ද්විත්ව ශතක 3 ක් ලබාගැනීමට සමත්වූ එකම පිතිකරුවා රෝහිත් ෂර්මාය.

පසුගිය කොදෙව් සංචාරයේදී කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමට අපොහොසත්වූ ෂර්මා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියට එක්වූයේ ආරම්භක පිතිකරුවා වශයෙනි. ඒ සමගින් නැවත දස්කම් අතරට පැමිණි ෂර්මා ඉනිම 4 කදි ශතක 2 ක් සහ ද්විත්ව ශතකයක් සමගින් මේ වනවිට ලකුණු 529 ක් රැස්කර ඇත. රෝහිත් ෂර්මා ලකුණු 28 ක් ලබාසිටියදී ජෝර්ජ් ලින්ඬේගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩපන්දුව ෂෝට් ලෙග්හී පන්දු රකිමින් සිටි සුබෙයිර් හම්සා අතහැරීමේ ප්‍රතිඵලය දකුණු අප්‍රිකානු කණ්ඩායමටම විඳින්නට සිදුවිය.

පළමු දිනය වූ ඊයේ (19 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 224 ක් රැස්කර සිටි ඉන්දියාව අද දිනයේදී කඩුලු 9 කට ලකුණු 497 ක් රැස්කරමින් පළමු ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළේය. මන්දාලෝකය නිසා අද සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 9 ක් පමණක් ලබා සිටියේය.

සුබෙයිර් හම්සා ලකුණු ලබාගැනීම ආරම්භ කර නොමැති අතර නායක ෆෆ් ඩු ප්ලෙසී ලකුණක් ලබාගනිමින් කඩුල්ලේ රැඳි සිටියේය. දැවීගිය කඩුලු 2 මොහොමඞ් ශාමී සහ උමේෂ් යාදව් අතර බෙදී ගියහ.

කසීසෝ රබාඩගේ පන්දුවක් හමුවේ ලුන්ගි න්ගිඞ් අතට උඩපන්දුවක් දෙමින් ද්විත්ව ශතකයක් ලබාගත් රෝහිත් ෂර්මා දැවීයන විට පන්දු 255 කදි ලකුණු 212 ක් රැස්කර සිටියේය. ඔහුගේ ඉනිම හයේ පහර 6 ක් සහ හතරේ පහර 28 කින් අලංකාර විය. රෝහිත් ෂර්මාට අනගි සහයක් ලබාදුන් අජින්ඛ්‍යා රහනේ, ජෝර්ජ් ලින්ඬේගේ පන්දුවක් හමුවේ හෙන්රිච් ක්ලාසන් අතට උඩපන්දුවක් දෙමින් දැවීයාම හේතුවෙන් එතෙක් පැවැති සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 267 කට සීමාවුණි.

සිය 11 වැනි ටෙස්ට් ශතකය ලබාගත් අජින්ක්‍යා රහනේ දැවීයන විට පන්දු 192 කට මුහුණදී සිටි අතර හයේ පහරක් සහ හතරේ පහර 17 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.

ඉන්දිය ලකුණු පුවරුව 370 ක් වනවිට හොඳම පිතිකරුවන් පස් දෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වුවද ඉන් පසුබට නොවූ පසුපෙළ පිතිකරුවෝ තවත් ලකුණු 127 ක් ඉනිමට එක් කිරීමට සමත්වූහ. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වන රවින්ද්‍ර ජදේජා පන්දු 119 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබාගනිමින් ඉන්දීය මුළු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූ අතර උමේෂ් යාදව් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 10 කදී හයේ පහර 5 ක් සමගින් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්විය.

කෝඩුකාරයා වන ජෝර්ජ් ලින්ඬේ කඩුලු 4 ක් සහ කගිසෝ රබාඩා කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඉන්දියානු පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 497
(රෝහිත් ෂර්මා 212, අජින්ඛ්‍යා රහනේ 115, රවින්ද්‍ර ජදේජා 51, උමේෂ් යාදව් 31, ජෝර්ජ් ලින්ඬේ 133/4, කගිසෝ රබාඩා 85/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 09

 

...


අදහස් (0)

රෝහිත්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.