Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් එංගලන්තයට ජයගෙනෙයි

රූට් එංගලන්තයට ජයගෙනෙයි

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන් සහ පන්දු යවන්නන් තම තමන්ගේ රාජකාරීන් නිසියාකාරව ඉටුකිරීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සදම්ටන්හිදී අද (14 වැනිදා) පැවැති තරගය කඩුලු 8 කින් ජයගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව අද ලැබූ ප්‍රසාද ලකුණු 2 ත් සමගින් ලකුණු 6 ක් හිමිකරගත් එංගලන්තය ශුද්ධ ලකුණු වේගය මත ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 33.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි ශතකයත් ලබාගත් ජෝ රූට් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් පන්දු 94 කදී නොදැවී ලකුණු 100 ක් රැස්කළ අතර ඊට හතරේ පහර 11 ක් අයත්විය.

ජොනී බෙයාර්ස්ටෝ සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 88 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ජෝ රූට් ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහාද ක්‍රිස් වෝක්ස් සමගින් එක්ව පන්දු 103 කදී තවත් ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

ජොනී බෙයාර්ස්ටෝ පන්දු 46 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 45 ක් සහ ක්‍රිස් වෝක්ස් පන්දු 54 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණයට දායකවූහ.
කොදෙව් නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද එංගලන්ත පිතිකරුවෝ මෙල්ල කිරීමට අපොහොසත් වූහ. ශැනන් ග්‍රේබියල් ලකුණු 49 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 44.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 212 ක් පමණි. අනෙක් අන්තයේ පිතිකරුවන් එකිනෙක දැවීයන විය හුදකලා සටනක නිරතවූ නිකලස් පූරන් අර්ධ ශතකයක් ලබාගනිමින් කොදෙව් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය. පන්දු 78 කට මුහුණදුන් පූරන් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 63 ක් ලබාගැනීමට සමත්විය.

ශිම්රන් හෙට්මයර් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු කොදෙව් ඉනිම ගොඩනැගීමට නිකලස් පූරන් සමත්විය. පූරන්ට අනගි සහයක් ලබාදුන් ශිම්රන් හෙට්මයර් පන්දු 48 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 39 ක් රැස්කිරීමට සමත්විය.

මුළු ලකුණු සංඛ්‍යාව 4 ක් වනවිට පළමු කඩුල්ල ලෙස එවින් ලෙවිස් දවාගත් ක්‍රීස් වෝක්ස්ට කොදෙව් ලකුණු පුවරුව 19 ක් වනවිට දෙවැනි කඩුල්ල ලෙස ක්‍රිස් ගේල් දවාගැනීමේ අවස්ථාව ඉතා අවාසනාවන්ත ලෙස අහිමිව ගියේය. ලකුණු 15 ක් ලබාසිටියදී මාක් වුඞ් අතින් පහසු උඩපන්දුවක් ගිලිහීයාම හේතුවෙන් තවත් ලකුණු 21 ක් සිය පෞද්ගලික ගිණුමට එක්කර ගැනීමට ගේල් සමත්විය. පන්දු 41 කදී ලකුණු 36 ක් ලබාගත් ගේල්ගේ ඉනිමf හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.

ගේල් දැවීයාමෙන් එක් ලකුණකට පසුව ශායි හෝප් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් මාක් වුඞ් කොදෙව් පිතිකරුවෝ අසරණ කර දැමීමට සමත්විය.

ඔන්ඩි්‍ර රසල් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් කොදෙව් ලකුණු පුවරුව ඉහළ දැමීමට උත්සහ ගත්තද මාක් වුඞ්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් වෝක්ස් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 21 කට දැවී ගියේය. පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සිය ඉනිමට එක්කර ගැනීමට රසල් සමත්විය.

මැදපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් ලබානොදුන් ජොෆ්රා ආචර් සහ මාක් වුඞ් අවසන් කඩුලු 4 ලකුණු 10 ක් තුළ බිඳ හෙළීමින් කොදෙව් ඉනිම අවසන් කිරීමට සමත්වූහ. මාක් වුඞ් සහ ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින්ද ජෝ රූට් කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බංග්ලාදේශය සමගින් පැවැති තරගයට ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමම අද තරගයට සහභාගීවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් 3 ක් සිදුකරමින් එවින් ලෙවිස්, ඇන්ඩි්‍ර රසල් සහ ශැනන් ගේබි්‍රයල් කණ්ඩායමට එක්වුහ. දකුණු අප්‍රිකාව සමගින් පැවැති තරගයට ක්‍රීඩාකළ ඈෂ්ලී නර්ස්, ඩැරන් බ්‍රාවෝ සහ කෙමාර් රෝච්ට අද තරගයේදී සිය ස්ථාන අහිමිවූහ.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

 

...


අදහස් (0)

රූට් එංගලන්තයට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.