Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග ස්ථාවරය වෙනස් කරයි

මාලිංග ස්ථාවරය වෙනස් කරයි

editorial - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කළ ලසිත් මාලිංග සිය ස්ථාවරය වෙනස් කර තිබේ. දැන් මාලිංග කියන්නේ තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කිරීමට තමන්ට තමන්ව කළමණාකරණය කරගත හැකි බවයි.

මේ වන විට 36 හැවිරිදි වේග පන්දු යවන්නකු වුවද විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී ලසිත් මාලිංග තවමත් ප්‍රබල ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී පැවැති විස්සයි-20 තරගයකදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් මාලිංග එම තරගයේදී ලකුණු 06 කට කඩුලු 5 ක් දවාගත්තේය.

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය බාරගැනීමෙන් පසුව ලැබුණු තරග ප්‍රතිඵල ශ්‍රී ලංකා පිලට එතරම් වාසිදායක නොවූවද තරුණ කණ්ඩායමක වැදගත් පුරුකක් සේ ලසිත් මාලිංග සැලකේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පවතින තත්ත්වය අනුව ලබන වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතව ඇත්තේ ලසිත් මාලිංගයි. පන්දු යවන්නකු මෙන්ම නායකයකු වශයෙන් ද තමන්ට කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී යමක් කළ හැකි බව මාලිංගගේ විශ්වාසයයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ලෝක කුසලාන තරගාවලියේදීත් නායකයා මම කියලයි. ඒත් ලංකාවේ දේවල් ගැන එහෙම විශ්වාසයක් තියන්න බෑ” යයි මාලිංග අන්තර්ජාතික පුවත් සේවාවන්ට පවසා තිබිණ.

“විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී තියෙන්නේ ඕවර 4 ක් යවන්නයි. මා හිතන්නේ මට ඒ ඕවර 4 යවාගන්න පුළුවන්. මම ලෝකය පුරාම විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. මා හිතන්නේ ඒක නිසා නායකයකු වශයෙන් මට ගොඩාක් අත්දැකීම් තියෙනවා”

“කොහොම වුණත් මම හිතනවා මට තව අවුරුදු දෙකක් විතර මේ ක්‍රීඩාවේ නිරත වෙන්න පුළුවන් කියලා” යයිද මාලිංග පවසා තිබිණ.

“මේ වෙනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්‍ෂ පන්දු යවන්නන් නෑ. දිගින් දිගටම දස්කම් පවත්වාගෙන යන්න පුළුවන් අයත් නෑ... අවුරුද්දක් නැත්නම් අවුරුදු එක හමාරක් විතර යනකම් මුකුත් කියන්න බෑ... සමහර විට අවුරුදු දෙකක් නැතනම් තුනක් විතර යනකම් අපට ඉවසීමෙන් බලා ඉන්න වේවි”

“ක්‍රීඩකයන් දිගින් දිගටම ක්‍රීඩා කිරීම ඉතාම වැදගත්. ඊළඟ තේරීම් කවුරු කළත්, මේ ක්‍රීඩකයන් ටික එතැන ඉන්න ඕන කියන එක තේරුම් ගන්න වෙනවා. බංකුවේ ඉඳගෙන කාටවත් යමක් ඉගෙන ගන්න බෑ. මා හිතන්නේ මට පුළුවන් මේ තරුණ ක්‍රීඩකයන්ට යමක් දෙන්න. ඒ නිසා මාත් එතන ඉන්න ඕනෑ”

“මට කියන්න පුළුවන්. ඒත් මමත් එතන ඉන්නවා නම් ඔවුන්ට ඒක කරලා පෙන්වන්න පුළුවන්. එහෙමයි ඒක කරන්නේ කියලා...ඒත් මම ක්‍රීඩා කරන 11 දෙනා අතරේ නැත්නම් මට ඒක කරන්න බෑ” යයිද මාලිංග පැවසීය.
ලසිත් මාලිංග මේ වන විට ඩුබායිහිදී පැවැත්වෙමින් තිබෙන දහයයි-10 තරගාවලියේදී මරාතා ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටී.

 


අදහස් (0)

මාලිංග ස්ථාවරය වෙනස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.