Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග ශාරීරික යෝග්‍යතා කඩුල්ල අබියස

මාලිංග ශාරීරික යෝග්‍යතා කඩුල්ල අබියස

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(දමින්ද විජේසූරිය)

විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංගගේ ක්‍රිකට් දිවියේ ඉදිරි ගමන සම්බන්ධයෙන් සාකච්ඡාවක්  සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව ලසිත් මාලිංගව කැඳවා තිබේ. සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක් වූවත්, නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වීමට නම් ඔහු අනිවාර්යයෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය සමත් විය යුතු බව තේරීම් කමිටු නිලධාරීහු අවධාරණය කරති.

ලසිත් මාලිංගගේ අදහස වන්නේ තමන් මේ දක්වා ක්‍රීඩා කර ඇති ආකාරය අනුව, ඕනෑම අවස්ථාවකදී ජාතික කණ්ඩායමට එක්වෙමින් දස්කම් දැක්විය හැකි බවත්, තමන්ට ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ අනවශ්‍ය බවත් යයි ද තේරීම් කමිටු නිලධාරීහුම කියති.

“එහෙම කරන්න බෑ. එයාට විතරක් වෙනම යෝග්‍යතා පරීක්‍ෂණ තියන්නත් බෑ... එහෙම වුණොත් ඒවා අනෙක් ක්‍රීඩකයන්ටත් කරන්න වෙනවා...” යයි කී තේරීම කමිටු නිලධාරියෙක්..

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලසිත් මාලිංගගේ දායකත්වය අපි ඉහළින්ම අගය කරනවා. ඒ නිසා තමයි එයාව වෙනම ම ගෙන්වලා සාකච්ඡා කරන්නේ. නැත්නම් අපටත් පුළුවන් අනෙක් අය වගේ ලසිත්වත් පැත්තකින් තියලා තරුණ ක්‍රීඩකයන් එක්ක මේ ගමන යන්න” යයිද කෙළිමඬලට පැවසීය.

ලසිත් මාලිංග අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2020 මාර්තු මාසයේදී කොදෙව් පිලට එරෙහිවය. එතැන් පටන් ඔහු කිසිදු තරඟකාරී ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නැත. විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ අද්වීතීය ක්‍රීඩකයකු ලෙසින් සැලකෙන මාලිංග විස්සයි-20 අන්තර්ජාතික කඩුලු 107 ක් දවාගෙන තිබේ.

ලසිත් මාලිංග මේ වන විට ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික ක්‍රිකට් පිටි්යෙන් සමුගෙන ඇතත් විස්සයි-20 අන්තර්ජාතික තරග වලින් සමුගෙන නැත. කණ්ඩායමේ නායකයා වශයෙන් සිටියදීත්, මාස 14 ක පමණ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය නොකිරීම නිසා දසුන් ශානක විස්සයි-20 කණ්ඩායමේ නායකයා ලෙසින් පත්කරනු ලැබීමට නියමිතය.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තවමත් කල්දමා නැත. එය ඉන්දියාවේදී බැරිනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෝ පැවැත්වීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේක්‍ෂාව වී තිබේ. එහි සත්කාරකත්වය හිමිව ඇත්තේ ඉන්දියාවට වන බැවින් එය අතහැර දැමීමට ඉන්දියාව සූදානම් නොවේ.

අනෙක් අතට ලබන වසරේදී තවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක් ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය. එබැවින් පිට පිට වසර දෙකකදී පැවැත්වෙන් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි දෙකකට සූදානම් වන ශ්‍රී ලංකාවට ලසිත් මාලිංග සමග ඉදිරියට යන්නේද නැද්ද යන්න වේලාසනින්ම විසඳාගත යුතු පැනයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින, වයස 30 පිරුණු වේග පන්දු යවන්නන් සමග ඉදිරියට යාම සම්බන්ධයෙන් තේරීම කමිටුව වැඩි සැලකිල්ලක් දක්වමින් සිටී. නුවන් ප්‍රදීප් (අවුරුදු 34), සුරංග ලක්මාල් (අවුරුදු 34) යන දෙදෙනාටත් මේ වන විට කණ්ඩායමේ ස්ථානය අහිමි වී ගොසිනි. තිසර පෙරේරා (අවුරුදු 32) පසුගිය සතියේදී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තද ඒ වන විටත් ඔහු තේරීම් කමිටුවේ නව ප්‍රතිපත්තිය දැන සිටියේය.

 

 


අදහස් (0)

මාලිංග ශාරීරික යෝග්‍යතා කඩුල්ල අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.