Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගේ යාම් ඊම් ප්‍රශ්නයක් වෙයි

මාලිංගගේ යාම් ඊම් ප්‍රශ්නයක් වෙයි

editorial - 2019 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ලීඞ්ස් සිට...)

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වර ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා පැවසීය. 

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන මාලිංගට අවස්ථා දෙකකදී කණ්ඩායමෙන් ඉවත්ව යෑමට අවසර දීම පිළිබඳ තේරීම් කමිටු සභාපතිවරයා ද වන අසන්ත ද මැල් මහතාගෙන් කළ විමසුමේදී ඒම මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“මට කරන්න දෙයක් නෑ”

“මාලිංග එහෙදිම (ශ්‍රී ලංකාවේදීම) නැවත ශ්‍රී ලංකාවට යන්න අවසර අරගෙනයි තිබුණේ. ක්‍රීඩකයන්ට ඔයවගේ දේවල්වලට අවසර දෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනේ. මාලිංග නැවත හෙට (19 වැනිදා) මෙහෙ එනවා” යැයි අසන්ත ද මැල් මහතා වැඩි දුරටත් පැවසීය.  

කෙසේ වෙතත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරිත්වය තුළ ද එතරම් කැමැත්තක් නොමැති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට යෑම පිළිබඳව මේ වන විට විවිධ පාර්ශව වෙතින් විවේචන එල්ල වෙමින් තිබේ. මෙවැනි ප්‍රධාන තරගාවලියක් අතරතුරදී ක්‍රීඩකයකු ගුවන් ගමන් වැනි දේවලින් වෙහෙසට පත්ව කණ්ඩායමට උපරිම ලබාගත හැකිද යන ගැටලුව මතු වන බව ක්‍රිකට් ප්‍රවීණයෝ පවසති.  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඒ මහතා පැවසුවේ ඔහුගේ ඉල්ලීම මානුෂික හේතූන් මත සළකා අවසර ලබාදුන් බවයි. 

“මාලිංග ඔහුගේ නැන්දනියගේ දානමය පිංකමට සහභාගි වෙන්න ඕන කියලා අවසර ඉල්ලුවා. දානයකට සහභාගි වෙන්නනේ, ඒ නිසා අපි ඒ පිළිබඳව සළකා අවසර දුන්නා” යැයි ප්‍රධාන විධායකවරයා වැඩි දුරටත් පැවසීය. 

මාලිංග අවමංගල්‍යයට සහභාගි වී නැවත එංගලන්තයට ඒමට පෙර දානමය පින්කමට සහභාගි වීම සඳහාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ගෙන තිබේ. 

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටි මාලිංග එම තරගාවලිය අවසන් වීමෙන් පසුව මැයි 13 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණ මැයි මස 26 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණි. 

මාලිංග ඉන් පසුව නවසීලන්තයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග දෙකට සහභාගි වූ අතර පාකිස්තානයට සහ බංග්ලාදේශයට එරෙහිව වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග දෙකට සහභාගි වීමට ද කණ්ඩායමේ රැදී සිටියේය.  

 ඔහු සිය නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ නැවත 14 වැනිදා රාත්‍රී ලන්ඩන් නුවරට පැමිණියේය. ඉන් පසුව ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයෙන් පසුව ඉරිදා නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් තිබුණි.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සංචිතය මාලිංග නොමැතිව මැයි මස 7 වැනිදා එංගලන්තය බලා පිටත්ව ස්කොට්ලන්තයට එරෙහිව තරග දෙකකට සහ දකුණු අප්‍රිකාවට සහ ඕස්ටේ්‍රලියාවට එරෙහිව පුහුණු තරග දෙකකට ද සහභාගි විය.  

ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට එක ගුවන් ගමනක් සඳහා අවම වශයෙන් පැය 10 ක කාලයක් ගත වේ. ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගයට පෙර දින රාත්‍රී 8.00 ට පසු වී පැය 10 කට අධික ගුවන් ගමනකින් පසුව ලන්ඩන් නුවරට පැමිණි මාලිංග පසු දින පෙරවරු 10.30 ට තරගයට ද ක්‍රීඩා කළේය. 

මාලිංග ඕස්ටේ්‍රලියාවට එරෙහිව තරගයේදී ඕවර 10 යවමින් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 61 කට කඩුල්ලක් දවාගත්තේය. එහිදී මාලිංගගේ අතින් ගිලිහුණු ඇතැම් පන්දු ඔහුගෙන් සාමාන්‍යයෙන් දැකිය නොහැකි පන්දු වූ අතර ඔහු ‘වයිඞ්’ පන්දු තුනක් යැවීය.  

ශ්‍රී ලංකා පිල සහභාගි වන හයවැනි තරගය සත්කාරක එංගලන්ත පිලට එරෙහිව ලීඞ්ස්හි ලබන 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ හෙඩින්ලි ක්‍රීඩාංගණයේදී පුහුණු සැසියට සහභාගි විය. 

 


අදහස් (0)

මාලිංගගේ යාම් ඊම් ප්‍රශ්නයක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.