Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැණුම් අහලා ඇතිවෙලා වගේ

බැණුම් අහලා ඇතිවෙලා වගේ

දමින්ද විජේසූරිය - 2021 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දිගින් දිගටම බැණුම් ඇසීම ඇතිවූ හෙයින්දෝ සිහි එළවාගත් ළහිරු තිරිමාන්න (නොදැවී 76) සහ කුසල් ජනිත් පෙරේරා එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (16 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටියේය.

එංගලන්තයට වඩා ලකුණු 286 ක් පසුපසින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 130 ක් ලබාගත යුතුව තිබේ.

ළහිරු තිරිමාන්න ලකුණු 51 ක් ලබා සිටියදී ගලීහි සිටි ඩොමිනික් සිබ්ලිට ලැබුණු පහසු උඩපන්දුවක් ඩොම් ගිළිහී ගියේ සෑම් කරන් අසහනයට පත්කරමිනි. එයින් ප්‍රයෝජන ගත් වමත් පිතිකරුවා මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන තුරුම කඩුල්ල රැකගනිමින් හෙට දවස කෙරේත් බලාපොරොත්තු රඳවා ගත්තේ වසර 7 කට පසුව හොඳම ටෙස්ට ඉනිම ක්‍රීඩා කරමිනි.

2011 සිටම ටෙස්ට් පිලට ක්‍රීඩා කරන තිරිමාන්න, අවසන් වරට ලකුණු 70 කට වඩා ලබාගත්තේ 2013 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව සිඩ්නි පිටියේදීය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක් (228) ලබාගත් නායක ජෝ රූට්, මෙම තරගයේදී වඩාත් ඉක්මන් ජයග්‍රහණයක් තම පිලට ලබාදීමේ පදනම දැමීය. පන්දු 321 කට මුහුණ දුන් මෙම ඉවසිලිවන්ත පිතිකරුවා හතරේ පහර 18 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය.

රූට් ලකුණු ලබාගැනීමේ හොඳම උපාය වූයේ ස්වීප් පහරයි. එහෙත් පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් ගැසූ පහර කීපයකින්ම ලකුණු ලබාගත් රූට්, සිය ද්විත්ව ශතකයත් සමගින් ටෙස්ට් ලකුණු 8000 සීමාව පසුකර ගියේය. අද පෙරවරුවේදී එංගලන්ත පිලේ කඩුලු හයක්ම දැවී ගිය අතර ජෝ රූට් අවසන් කඩුල්ල දක්වාම පිටියේ සිටියේය.

ටෙස්ට් ඉනිම හතරකදී පිට පිටම ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් සිය පළමු වැනි ලකුණ ලබාගැනීමත් සමගම මහත් උද්දාමයට පත්විය. එහෙත් කුසල්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ජැක් ලීච්ගෙන් අවසර නොලැබිණ. පන්දුව ගුවනේ තරමක් ඉහළට යවමින් පිතිකරුවා ඉදිරියට කැඳවූ ජැක් ලීච්ගේ පන්දුව පිත්තේ පිටත දාරයේ යන්තමින් ගෑවී කඩුලු රකින්නාගේ අත් ආවරණ අතර සැඟවී ගියේය.

තවත් කඩුල්ලක් එංගලන්තයට දීමට අකමැති වූ ශ්‍රී ලංකා කණ්ඩායම මුරකරු පිතිකරුවා වශයෙන් ලසිත් ඇඹුල්දෙණිය පිටයට එවමින් දිනය නිමා කළේය.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

 


අදහස් (0)

බැණුම් අහලා ඇතිවෙලා වගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.