Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය තිත්තයන් දඩයමක

බංග්ලාදේශය තිත්තයන් දඩයමක

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : දමින්ද විජේසූරිය)

තිත්තයන් දඩයමක් සේ හැඳින්විය හැකි නමුත්, ලෝක කුසලාන තරග ඉතිහාසයේ අත්දැකීම් අඩුම කණ්ඩායම වන ඇෆ්ඝනිස්ථානය ලකුණු 62 කින් පරාජය කළ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව අභිබවමින් ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි ස්ථානය අත්පත් කරගත්හ. එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී අද (24 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 263 ක ඉලක්කයක් කරා ගිය ඇෆ්ඝනිසථානු කණ්ඩායම ලකුණු 200 දී නතර කර ගැනීමට සකිබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ඕවර 50 කදී ලකුණු 262 ක් ලබාගත්තේය.

මේ වන විටත් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වී සිටින සකිබ් අල් හසන් අද පිත්තෙන් ලබාගත්තේ ලකුණු 51 ක් පමණක් වූවද වමතින් දඟ පන්දු යවමින් ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගත්තේය.

මෙම පරාජය ඇෆ්ගනිස්ථානු කණ්ඩායම එක දිගට ලැබූ හත්වැනි පරාජය විය. 1992 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමද එක දිගට තරග 7 ක් පරාජය වෙමින් දීර්ඝතම පරාජයන් වැලේ වාර්තාවට සමසේ හිමිකම් කියයි.

අද තරගයේදී ලබාගත් ලකුණු 51 ත් සමගින් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූ සකිබ් අල් හසන් තවත් ලෝක කුසලාන අර්ධ ශතකයක් සිය තරග වාර්තාවට එකතුකර ගත්තේය. එහෙත් තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසුව සකිබ් කියා සිටියේ මුෂ්ෆිකුර් රහීම්ගේ පිතිහරඹය නොවන්නට මෙම ලකුණු සංඛ්‍යාව පුවරුවට නොවැටෙන බවයි.

පන්දු 87 කට මුහුණ දුන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 83 ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 4කින් සිය ඉනිම අලංකාර කරමිනි.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තානු නායක ගුල්බදින් නයිබ් කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මඳ වර්ෂාවකින් තරගයේ ආරම්භය ප්‍රමාද වුවත් ඕවර සංඛ්‍යාවේ අඩුවක් නොවීය. කොදෙව් පිලට එරෙහි තරගයේදී ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වූ ලිටන් දාස් අද තරගයේදී ඉනිම ආරම්භ කිරීමට යොදවන ලද නමුත් ඔහුට සාර්ථක විය නොහැකි විය.

මේ වන විටත් ලෝක කුසලාන ශතක දෙකක හිමිකරුවා වී සිටින සකිබ් අල් හසන් පහසුවෙන්ම ඕස්ටේ්‍රලියාවේ ඬේවිඞ් වෝනර් (447) අභිබවා යමින් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේය. ටමීම් ඉක්බාල් සමග එක්වූ සකිබ් අල් හසන් පිට පිටම සිව්වැනි වතාවටත් ලකුණු 50 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය.

ටමීම් ඉක්බාල්ගේ ප්‍රහාරයට ලක්වූ නමුත් මොහොමඩ් නබී විසින් ඊළඟ පන්දුවේදී බංග්ලාදේශ ආරම්භක පිතිකරුවා ලකුණු 36 කට දවාගන්නා ලදි.

මෙම ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වන්නේ අද හිමිකරගත් ප්‍රසාද ලකුණු 2 ත් සමගින් බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු 7 ක් හිමිවන අතර ඔවුන් සහ සිව්වැනි ස්ථානයේ සිටින එංගලන්තය අතර පරතරය ප්‍රසාද ලකුණක් පමණක් වීමයි. මෙම තත්ත්වය ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන හතර අත්පත් කරගැනීම සඳහා නිර්මාණය කරන්නේ තියුණු සටනකි.


බංග්ලාදේශය - ඕවර 50 කදී කඩුලු 7 ට 262 යි
(ලිටන් දාස් 16, ටමීම් ඉක්බාල් 36, සකිබ් අල් හසන් 51, මුෂ්ෆිකුර් රහීම් 83, මහමදුල්ලා 27, මොසඩක් හුසේන් 35, මුජිබ් උර් රහමන් 39/3, ගුල්බදින් නයිබ් 56/2)

ඇෆ්ඝනිස්ථානය - ඕවර 47 කදී සියලු දෙනා දැවී 200 යි
(ගුල්බදින් නයිබ් 47, රමාට් ෂා 24, හස්මතුල්ලා සයිදි 11, අස්ගර් ඇෆ්ගන් 20, සමිඋල්ලා ෂින්වරි නොදැවී 49, ඉක්රම් අලිකිල් 11, නජිබුල්ලා සද්රාන් 23, මුෂ්ටෆිසුර් රෙහෙමාන් 32/2, සකිබ් අල් හසන් 29/5)

 

..


අදහස් (0)

බංග්ලාදේශය තිත්තයන් දඩයමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.