Last Update  :  2024-03-27 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්

පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්

ශනුක අරවින්ද - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 39 ක ඉතිහාසකයකට උරුමකම් කියන සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයන් ගොන්නට එක්වීමේ භාග්‍ය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස් උදාකර ගත්තේය.  මේ වසරේ (2018) දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු රකින්නා යන සම්මාන ද්විත්වයද තමන් සතුකර ගැනීමට මෙම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා සුදුසුකම් ලබා සිටියි.  

ඉතා කුඩා කළ සිටම කැපවීමෙන් පුහුණුවීම් වල නිතර වූ මෙන්ඩිස්, ක්‍රීඩාවට අවතීර්ණ වූ කාලයේ පටන්ම අත් දෙකින්ම පන්දු යැවීමට හුරු වී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක ඔහුට සමකාලීනයන් අතර ‘දෙඅතා’ යන අන්වර්ථ නාමයද හිමි විය.

පන්දුවට පහර දීමේදී පිටිය පුරා පන්දුව යැවීමේ හැකියාවකින් සමන්විත මෙම වමත් මැද පෙළ පිතිකරුවා, උකුසු ඇසක් සහිත දක්ෂ පන්දු රකින්නකු ලෙසද නම් දරා සිටියි.

රිච්මන්ඞ් විදුහලේ වයස 13 න් පහළ කණ්ඩායම මෙහෙයවන සමයේදී ලකුණු 700 ක් රැස්කරමින් කඩුලු 30 ක් දවාගැනීමට ඔහු සමත් විය. එම දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායමේ මැලේසියානු සංචාරයක් සඳහා ඔහුට දොරටු විවර විය. එතැන් පටන් ශ්‍රී ලංකා වයස 17 න් පහළ සහ 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට කමිඳු මෙන්ඩිස්ට හැකිවිය.
 
2014 වසරේ පැවැති ඕස්ටේ්‍රලියානු සංචාරයේදී පළමු වරට ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට ඇතුළත් වූ මෙන්ඩිස්, ඉතා කෙටි කලක් තුළ එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත් විය. පසු කලෙක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වයට පත් වූ ඔහු, ආසියානු ශූරතාවලි දෙකක් සහ ලෝක කුසලාන තරගාවලි දෙකක්ද සමග විදෙස් රටවල් 8 කදී පැවැති තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

මේ දක්වා තමා සහභාගි වූ සෑම ආකෘතියකම ක්‍රිකට් තරගවලදී ලකුණු 4000 කට වැඩි ප්‍රමාණයක් රැස්කරගෙන සිටින මෙන්ඩිස්, අත් දෙකම යොදාගනිමින් පන්දු යැවීමේ නිරත වනුයේ වැඩි වශයෙන් සීමිත ඕවර තරගවලදීය. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ ශතක 2 ක්ද ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවකු ලෙස අනගි දායකත්වයක් සැපයීමටද මෙන්ඩිස් සමත් විය.
 
දේවපතිරාජයේ බලාපොරොත්තුව - රවීන් යසස්

නැගී එන පාසල් කාණ්ඩයේ වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් කීඩකයා සහ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට සුදුසුකම් ලබා සිටින රවීන් යසස් රත්ගම දේවපතිරාජ විදුහලේ පස්වැනි වසරේ වර්ණ ලාභියෙකි. රවීන්ගේ දස්කම් හේතුවෙන් ඔහු අන්තර් පළාත් තරගාවලියට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියටත් ක්‍රීඩා කර තිබේ.

ඔහුගේ ක්‍රිකට් දස්කම් නිසාම රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලබන වර්ෂයේදී පළමු ශ්‍රේණියටත් උසස්වීමක් ලැබීය. කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද සාර්ථකත්වයට පත් රවීන් යසස්, සෙසු ක්‍රීඩකයන්ගෙන් හොඳ සේවයක් ලබාගැනීමට සමත් නායකයෙකි.

වයස 13 න් පහළ, 15 න් පහළ සහ 19 න් පහළ කණ්ඩායම් මෙහෙයවීමේදී දියුණු වන ලක්‍ෂණ රැසක් පෙන්නුම් කළ රවිඳු යසස් දකුණු පළාත් 15 න් පහළ කණ්ඩායමට නායකත්වය දුන් අතර ශ්‍රී ලංකා 15 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් මැලේසියාවේද සංචාරය කළේය.

අවසන් තරග වාරයේදී ශතක 3 ක් සහ අර්ධ ශතක 8 ක් සමගින් ලකුණු 1303 ක් රැස්කළ මෙම වමත් පිතිකරුවාට කරන්දෙණිය මැදි විදුහලට එරෙහිව ලබාගැනීමට තිබූ ත්‍රිත්ව ශතකය (296) අහිමිව ගියේ ලකුණු 4 කිනි. වමතින් දඟ පන්දු යවමින් කඩුලු 25 ක් බිඳ හෙළීමටද ඔහු සමත් විය.

රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ නම බැබළවීම සිය එකම අරමුණ කරගත් රවීන් සසස් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ දිගු ගමනක් යා හැකි ක්‍රීඩකයෙකි.

ප්‍රහාරයට මෙන්ම ඉවසීමත් සමත් - රෙවාන් කෙලී

වසරේ දක්ෂතම පිතිකරු අනු ශූරතාවට හිමි සම්මානය සඳහා සුදුසුකම් ලබා සිටින රෙවාන් කෙලී මෙවර ඩයලොග් - සන්ඬේ ටයිම්ස් සම්මාන ප්‍රදානෝත්සවයේදී සුවිශේෂී ත්‍යාග දෙකකට හිමිකම් කියන්නෙකි.

අන්තර් පාසල් සීමිත ඕවර තරගයකදී වේගවත්ම අර්ධ ශතකය ලබාගත් ක්‍රීඩකයා ලෙසත්, අඩුම තරග සංඛ්‍යාවකදී ලකුණු 1000 සීමාව පසුකළ ක්‍රීඩකයා ලෙසත් කෙලී බුහුමන් ලැබීමට නියමිතය. අවශ්‍ය අවස්ථාවකදී ප්‍රහාරාත්මක පිතිකරුවකු වූවත් පිටියේ වැඩි වේලාවක් ගතකිරීම හොඳ පිතිකරුවකුගේ ලක්‍ෂණය බව දන්නා රෙවාන් කෙලී මරදාන ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ ප්‍රතිකරු බල ඇණියේ කොඳු නාරටිය බවට පත්ව සිටී.

ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් සිය අවසන් තරග වාරය තුළ ලකුණු 1500 කට වැඩි ප්‍රමාණයක් රැස්කිරීමට කෙලී සමත්ව ඇත්තේ අගනා ශතක 4 ක්ද සමගිනි.

පෙරමුණ ගත් නායකයා - ඩෙලන් පීරිස්

දක්ෂ නායකයකු මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකුද වන ඩෙලන් පීරිස් 2018 වසරේ දක්ෂතම නායකයා ලෙස සම්මාන දිනාගැනීමට සූදානමින් සිටියි. ඔහු නායකත්වය දරන ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම වසරේ දක්ෂතම පාසල් කණ්ඩායම ලෙසද සම්මාන දිනාගැනීමට නියමිතය.  

ක්‍රීඩා කළ අවසන් තරග වාරයේදී දකුණත් මැද පෙළ පිතිකරුවකු ලෙස ලකුණු 500 කට වැඩි ප්‍රමාණයක් රැස්කළ පීරිස්, වමත් දඟ පන්දු යවන්නකු ලෙස කඩුලු 75 කට ආසන්න ප්‍රමාණයක් දවාගෙන, උඩ පන්දු 30 ක්ද රැකගනිමින් සිය තුන් ඉරියව් දස්කම් මනාව ප්‍රදර්ශනය කළේය.

එහෙත් ඒ සියල්ලට වඩා කැපී පෙනුණේ ඩෙලන් නායකයකු ලෙසින් පෑ දස්කම්ය. සාන්ත තෝමස් විද්‍යාලය වසරේ දක්‍ෂතම පාසල් කණ්ඩායම කරා මෙහෙයවීමේදී ඩෙලන් කැපී පෙනන තීරණ ගත් නායකයෙකි.

කණ්ඩායම මෙහෙයවීමේදී ඔහුගේ සුවිශේෂී උපක්‍රමයක් වන්නේ කෙටි පන්දු යැවීම් වාර සඳහා සිය පන්දු යවන්නන් යොදා ගැනීමයි. එමගින් පිතිකරුවන්ට ඇස හුරුකරගැනීමට අවස්ථාව නොලැබේය යන්න ඩෙලන්ගේ අදහසයි.

සෑම තරගයක්ම ආරම්භ වීමට පෙර සිය කණ්ඩායම අමතා කතා කරන ඩෙලන් සිය සගයින්ට තම තමන්ගේ වගකීම් මතක් කර දෙයි. සෑම ක්‍රීඩකයකුගේම තනි පුද්ගල දක්‍ෂතා කණ්ඩායමේ සාර්ථකත්වයට දායකත්වය දක්වන ආකාරය පිළිබඳ සගයින්ට කියා දෙන ඩෙලන් ඔවුන් සියලු දෙනාටම වඩා ඉදිරියෙන් සිටිමින් පිටියේදී දස්කම් දක්වයි. වසරේ විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වීමේ අනුශුරතාව හිමිකරගන්නා ඩෙලන් පීරිස් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයාට හිමි අනුශූරතාවද දිනාගනන්නේ එබැවිනි.

ප්‍රහාරාත්මක පිතිකාරණිය - කවීෂා දිල්හාරි

රත්ගම දේවපතිරාජ විද්‍යලයීය බාලිකා කණ්ඩායමට පිට පිටම වසර 3 ක් (2016, 2017 සහ 2018) අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් ශූරතාව දිනාදීම සඳහා විශිෂ්ට සේවයක් ඉටුකළ ක්‍රීඩිකාවක් ලෙස කවීෂා දිල්හාරි හැදින්විය හැකිය.

මෙවර වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට සූදාමින් සිටින ඇය, සිය අවසන් තරග වාරය තුළදී ලකුණු 700 ක් රැස්කරමින්, කඩුලු 40 ක් දවාගැනීමටද සමත්ව සිටින්නීය. එම තරග වාරයේ පළමු තරගයේදීම කොට්ටාව ධර්මපාල විදුහලට එරෙහිව හයේ පහර 40 ක් සමග ත්‍රිත්ව ශතකයක් (353) ලබාගැනීමටද ඇය සමත් වූවාය.

 

-036

 


අදහස් (0)

පාසල් ක්‍රිකට් පිටිය කැළඹූ කමිඳු මෙන්ඩිස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.