Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු දිනය වැස්සට සේදී යයි

පළමු දිනය වැස්සට සේදී යයි

editorial - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (8 වැනිදා) එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට දැඩි ලෙස වර්ෂාවෙන් බාධා එල්ල විය. එංගලන්ත වේලාවෙන් පස්වරු 5.35 වන විටත් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළෙමින් තිබූ අතර නැවතත් තරගය ආරම්භ කරන වේලාවක් පිළිබඳ කිසිදු සඳහනක් නොතිබිණ.

ක්‍රිකට් තරගයක සජීවී දසුනක් දැකගැනීම සඳහා මාස හතරක් පුරා නොයිවසිල්ලෙන් බලා සිටි ක්‍රිකට් ලෝලීන්ගේ තැවුල තවදුරටත් දීර්ඝ කරමින් තරගයේ ආරම්භය ප්‍රමාද කිරීමට වර්ෂාව අකාරුණික විය. සිහින් වැසිපොද වැටෙද්දී, සදම්ටන් තණතීරුව සම්පූර්ණයෙන් ආවරණය කිරීමට පියවර ගැණුනු අතර ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 9.30 කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද එයත් ප්‍රමාද කෙරිණ.

පස්වරු 1.15 ට පමණ ක්‍රීඩාංගණය වසා තිබූ ආවරණ ඉවත් කෙරුණ අතර පස්වරු 1.30ට කාසියේ වාසිය උරගා බැලීමටත්, පස්වරු 2.00 ට තරගය ආරම්භ කිරීමටත් ක්‍රීඩාංගණය පරික්ෂා කළ විනිසුරුවෝ තීරණය කළහ.

තරගයේ දෙවැනි ඕවරයේදීම එංගලන්ත ආරම්භක පිතිකරු ඩොමිනික් සිබ්ලි ලකුණු ලබාගැනීමට පෙරාතු‍වම පිටියෙන් ඉවත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශැනන් ගේබ්‍රියල් සමත් විය. කෙසේ වුවත් තෙවැනි ඕවරය අවසානයේ යළිත් වර්ෂාව ඇද හැළීම නිසා තරගය තාවකාලිකව නතර කිරීමට සිදුවිය.

මිනිත්තු 20 ක පමණ කාලයකට පසුව තරගය යළිත් ආරම්භ වූවද, සිවුවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමත් සමග වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් තරග නතර කිරීමට විනිසුරුවන්ට සිදුවූහ. නැවතත් පස්වරු 3.15 ට පමණ ආරම්භ කෙරුණ තරගය, ඕවර 17.4 ක් දක්වා පැවැති අතර එහිදී කඩුලු ආරාක්ෂා කරගනිමින් පිතිහරඹයේ නිරත වීමට රෝරි බර්න්ස් (නොදැවී 20) සහ ජෝ ඩෙන්ලි (නොදැවී 14) සමත් වූහ.

පස්වරු 4.30 ට පමණ මන්දාලෝක තත්වය හේතුවෙන් නතර කෙරුණ තරගය, පස්වරු 5.35 වන විටත් යළි ආරම්භ කිරීමට නොහැකි වී තිබිණ. ඒ අතර වාරයේ ක්‍රීඩකයන්ට තේ පානය සඳහාද වේලාව වෙන්වී තිබිණ. අද (9 වැනිදා) තරගයේ දෙවැනි දිනය වන අතර පෙරවරු 9.30 ට ක්‍රීඩාව ආරම්භ කිරීමට නියමිතය.

කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර හේතුවෙන් මෙම තරගය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර නැත. පන්දු යවන්නන්ට මෙන් ක්‍රීඩකයන්ටද කොන්දේසි රාශියකි. පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය භාවිතා කිරීමට පන්දු යවන්නන්ට අවසර නැත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වසර 32 ක් ඇතුළතදී (1988 සිට) එංගලන්තයේදී ටෙස්ට් තරගමාලාවක් ජයගෙන නැත. එහෙත් කොදෙව්වන් විසින් විස්ඩන් කුසලාන රඳවාගනු ලැබ සිටින්නේ පසුගිය වසරේ කැරිබියන් දූපත් සමූහයේදී පැවැති තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවය.


එංගලන්ත පළමු ඉනිම – කඩුල්ලක් දැවී 35
(රෝරි බර්න්ස් නොදැවී 20, ජෝ ඩෙන්ලි නොදැවී 14)

-036


අදහස් (0)

පළමු දිනය වැස්සට සේදී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.