Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්ජාබ් පිල දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

පන්ජාබ් පිල දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

editorial - 2020 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඉරිදා (18 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගය දෙවැනි සුපිරි ඕවරයේදී ජයගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. දෙවැනි සුපිරි ඕවරයේදී මුම්බායි කණ්ඩායම ලබාදුන් ලකුණු 12 ක ඉලක්කය පන්දු 4 කදී පසුකර යමින් පන්ජාබ් කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේය.

දෙපිලම ඕවර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 176 බැගින් සමලකුණු ලබාගැනීම හේතුවෙන් ජයග්‍රාහකයා‍ තෝරා ගැනීම සඳහා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ. කෙසේ වුවත් එහිදීද කණ්ඩායම් දෙකේ ලකුණු සමාන වීම හේතුවෙන් අයි.පි.එල්. ඉතිහාසයේ පළමු වරට දෙවැනි සුපිරි ඕවරය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රීට් බුම්රාද පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශාමිද පළමු සුපිරි ඕවර යැවීය. ඉතා දක්ෂ ලෙස පන්දු යැවූ ඔවුන් දෙදෙනා සිය ඕවර තුළදී ප්‍රතිවාදී කණ්ඩායම් දෙකම සම ලකුණු 5 කට සීමා කිරීමට සමත් වූහ. කෙසේ  වූවත් එහිදී සුපිරි පන්දු යැවීමක් කළ බුම්රා සිය ඕවරය තුළදී කඩුලු 2 ක් දවා ගැනීමටද සමත් විය.

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි20 තරග නීති රීතිවලට අනුව පළමු සුපිරි ඕවරය යැවූ පන්දු යවන්නන් දෙදෙනාට දෙවැනි සුපිරි ඕවරය යැවීමට නොහැකිය. එසේම අතර පළමු සුපිරි ඕවරයේදී දැවීගිය පිතිකරුවන්ට දෙවැනි සුපිරි ඕවරයේදී පන්දුවට පහරදීමටද අවස්ථාව නොලැබේ.

එබැවින් පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි සුපිරි ඕවරය යැවීම සඳහා ක්‍රිස් ජෝඩාන් කැඳවූ අතර එහිදී කඩුල්ලක් දැවී ලකුණු 11 ක් රැස්කිරීමට මුම්බායි පිතිකරුවෝ සමත් වූහ. මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට්‍ දෙවැනි සුපිරි ඕවරය යැවූ අතර එහි පළමු  පන්දුවටම හයේ පහරක් ගැසූ ක්‍රිස් ගේල් පන්ජාබ් කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවීය. තෙවැනි සහ සිවුවැනි පන්දුවලට හතරේ පහරවලින් සංග්‍රහ කළ මායන්ක් අගර්වාල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුව පහරදුන් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් පන්දු 43 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ පිතිහරඹයක නිතර වූ ලොකේෂ් රාහුල් පන්දු 51 කදී ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.

 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176

(ක්වින්ටින් ඩි’කොක් 53, කෘනාල් පාණ්ඩ්‍යා 34, කිරන් පොලාඩ් නොදැවී 34, නේදන් කූල්ටර්නයිල් නොදැවී 24, මොහොමඩ් ශාමි 30/2, අර්ෂ්දීප් සිං 35/2)

 

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 176

(ලොකේෂ් රාහුල් 77, ක්‍රිස් ගේල් 24, නිකලස් පූරන් 24, දීපක් හූඩා නොදැවී 23, ජස්ප්‍රීට් බුම්රා‍ 24/3, රහුල් චාහර් 33/2)

-036

(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි.)


අදහස් (0)

පන්ජාබ් පිල දෙවැනි සුපිරි ඕවරයේදී ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.