Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක්

දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක්

editorial - 2021 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සීමිත ඕවර තරගාවලියක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය කණ්ඩායම දෙවැනි පෙළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වීමේ වැඩි අවස්ථාවක් තිබේ. ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තාවකාලික තරග කාලසටහනක් නිකුත් කර ඇති අතර එය එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට සීමාකර තිබේ.

සියළුම තරග එක් ක්‍රීඩාංගණයකදී පමණක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව එම අවස්ථාව ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට හිමිව ඇත.

වෙනත් ක්‍රීඩාංගණ වෙත සංචාරය කිරීමේ දී ජෛව ආරක්ෂිත බුබුලට ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් සියලු තරග එක් ක්‍රීඩාංගණයකදී පැවැත්වීමට තීරණය කර ඇති බවත්, එම කාලය වන විට පවතින තත්ත්වය අනුව එහි අවසන් තීරණය ගැනීමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමණාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතා ඉන්දියාවේ සුප්‍රකට ක්‍රීඩා සඟරාවක් වන ‘ද ස්පෝට්ස්ටර්’ සඟරාවට පැවසීය. එහෙත් ඉන්දීය ජාතික කණ්ඩායම සැප්තැම්බර් 14 වැනිදා දක්වා එංගලන්තයේ රැඳී සිටි බැවින් ඒ කුමන දිනවලදීද යන්න ප්‍රකාශ නොකෙරිණ.
 
දෙවැනි පෙළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම ජුලී 5 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර ජුලී 28 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනු ඇත. ඔවුන් ජූලි 5 වනදා ලංකාවට පැමිණීමෙන් පසුව දින 7 ක කාලයක් නිරෝධායනයට ලක් විය යුතුය.

පළමු දින තුනේදී ක්‍රීඩකයින් ඔවුන්ගේ හෝටල් කාමර තුළම රැදී සිටිය යුතු බවත්, සිව්වැනි දිනයේ සිට ක්‍රීඩකයින්ට දැඩි සීමා යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළ හැකි බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අවධාරණය කරයි. කෙසේ වෙතත්, එම කාලය වන විට සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයකට ලක් කළහොත් ඊට අනුගත වීමට ද සිදු වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතා ඇතුළු පුහුණු කාර්යය මණ්ඩලය එංගලන්තයේ ටෙස්ට් සංචාරයක නිරත වන බැවින් ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් මහතා පත්කෙරෙනු ඇත.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් පසුව ඉන්දීය කණ්ඩායම එංගලන්තය සමගින් තරග 5 ක ටෙස්ට් තරගාවලියට එක්වේ. එම නිසා විරාට් කෝලි, රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහනේ, රිෂාබ් පාන්ට්, ලෝකේෂ් රාහුල්, ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ත් ෂර්මා, මොහොමඩ් සාමි, සහ රවීන්ද්‍ර ජදේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා සංචාරය සදහා එක් නොවනු ඇත.

ශිකර් ධවාන්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ, සූර්යකුමාර් යාදව්, ඉෂාන් කිෂාන්, හර්ඩික් පාණ්ඩ්‍යා, රාහුල් තෙවාටියා, කෘනල් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, ජයිදේව් උනද්කාට්, දීපක් චහාර්, නව්දීප් සයිනි, කලීල් අහ්මඩ්, යුස්වේන්ද්‍ර චහල්, රාහුල් චහාර්, කුල්දීප් යාදව්, වරුන් චක්‍රවර්තී වැනි ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකා සංචාරය සදහා කණ්ඩායම තෝරාගනු ඇත.

එංගලන්තයේදී විස්සයි-20 සහ එක්දින තරගාවලියකට සහභාගි වීමෙන් පසුව මව්බිමට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට මුහුණ දෙනු ඇත.


එක්දින තරග කාලසටහන
ජූලි 13 - 1 වැනි එක්දින තරගය
ජූලි 16 - 2 වැනි  එක්දින තරගය
ජූලි 19 - 3 වැනි එක්දින තරගය

විස්සයි-20 තරග කාලසටහන
ජූලි 22 - 1 වැනි විස්සයි20 තරගය
ජූලි 24 - 2 වැනි  විස්සයි20 තරගය
ජූලි 27 - 3 වැනි විස්සයි20 තරගය

- 2079


අදහස් (0)

දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.