Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දැඩි නීතිරීති - කොන්දේසි මැද ජාතික සංචිතයේ පුහුණුව අද සිට

දැඩි නීතිරීති - කොන්දේසි මැද ජාතික සංචිතයේ පුහුණුව අද සිට

දමින්ද විජේසූරිය - 2020 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉතාමත් දැඩි සෞඛ්‍ය නීතිරීති සහ කොන්දේසි මෙන්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාර්ගෝපදේශන මැද, ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අද (1 වැනිදා) ආරම්භවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කොවිඞ්- 19 වයිරසය නිසා පසුගිය මාර්තු 20 වැනිදා රට වසා දැමීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කෙරෙන පළමු අවස්ථාව මෙයයි.

මාර්තු මස දෙවැනි සතියේදී රට වසා දැමීමට තීරණය කරන විටත් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. එහෙත් රට වසා දැමීමේ තීරණයත් සමගින් එංගලන්ත පිල මාර්තු 13 වැනිදා ආපසු සියරට බලා පිටත්ව ගියේය.
ජාතික කණ්ඩායමේ පළමු වැනි පුහුණු සැසිය සඳහා ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකට දින 12 ක සැලැස්මක් ලබාදී තිබේ. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් කේන්ද්‍ර කරගනිමින් මෙම පුහුණුවීම් කෙරෙන අතර ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අඟහරුවාදා (2 වැනිදා) ආරම්භ කිරීමට නියමිතය.

“මේ පුහුණු කඳවුරට ඇතුළත් වන ක්‍රීඩකයන් කිසිවෙකුට තමන් නැවතී සිටින හෝටලය හෝ පුහුණුවීම් කරන ස්ථානය හැර තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා හෝ වෙනත් අවශ්‍යතා සඳහා එහා මෙහා යා නොහැකියි.”

“මෙම සංචිතය තෝරාගෙන ඇත්තේ සියලුම ආකාරයේ ක්‍රිකට් තරග සලකා බැලීමෙන් පසුවයි. මෙතැන වැඩිපුර ඉන්නේ පන්දු යවන්නන්. ඔවුන් තරග තත්ත්වයන්ට මුහුණ දීමට පෙර හොඳ සූදානමක් ලබාගත යුතු වෙනවා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පසුගිය දිනෙක ලංකාදීපයට කියා සිටියේ විවිධ ක්‍රීඩක කණ්ඩායම් වෙනුවෙන් තමන් පුහුණු සැලසුම් කිහිපයක් සූදානම් කරගෙන සිටින බවයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් තවමත් අරගල කරමින් සිටින බැවින් කොරෝනා වයිරසයේ දේශීය සම්ප්‍රේෂණය වේගවත් වේද යන්න සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් යුතුව ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව දෙසතියකට ඉහතදී සිය සාමාජික රටවලට උපදෙස් දුන්නේය. ඒ සමගම ක්‍රිකට් ක්‍රීඩාව නැවතත් සුපුරුදු මාවතට ගෙන ඒමට පුළුල් මාර්ගෝපදේශ මාලාවක්ද අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පසුගියදා නිකුත් කරන ලදි. ඒ ඉහළම ආරක්ෂිත නියමයන් නිර්දේශ කරමිනි.

“ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කළ යුත්තේ, එසේ කිරීමෙන් කොරෝනා වයිරසයේ දේශීය සම්ප්‍රේෂණ වේගය ඉහළ යාම හෝ නොයාම පිළිබඳව පැහැදිළි අවබෝධයක් හෝ දැනුමක් ඇත්නම් පමණයි” යනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සිය මාර්ගෝපදේශ මාලාවේ ඉහළින්ම සඳහන් කර තිබිණ.

“ක්‍රීඩා පිටිය, පුහුණු ස්ථානය, විවේකාගාරය, උපකරණ, කළමනාකරණය, ඕනෑම පුහුණු සැසියකට හෝ තරඟයකට පෙර ක්‍රිකට් හා සම්බන්ධ පරිසරයේ අවදානම් අවම කර ගැනීමට සෑම උත්සාහයක්ම ගත යුතුය” යනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලය අවධාරණය කරයි.
විවේකාගාර, නාන කාමර පහසුකම් සහ වෙනත් පොදු ප්‍රදේශවල භාවිතය අවම කිරීමට ක්‍රීඩකයින්ට උපදෙස් දිය යුතු බවත් හැකි සෑම අවස්ථාවකදීම තරඟ සහ පුහුණු ස්ථානවලදී වෙනුවට නිවසේදී ස්නානය කිරීමට හා ඇඳුම් මාරුකිරීමට ක්‍රීඩකයින් දිරිමත් කළ යුතු බවත් එම මාර්ගෝපදේශ මාලාවේ සටහන් වේ.

“පුද්ගලයන්ට තම ජීවිතයේ සාමාන්‍ය ස්භාවය පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට සහාය වීම ඒ සමඟ වැදගත් ශාරීරික හා මානසික සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා දීමත්” සඳහා ක්‍රිකට් ක්‍රීඩාව දායක විය යුතු බව ද එහි සඳහන් වේ.

ක්‍රිකට් යනු ස්පර්ශ නොවන ක්‍රීඩාවක් වුවද, පෙර නොවූ විරූ ලෙස සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඉතා ප්‍රවේශම් සහගත මාවතක ගමන් කරයි. එබැවින් “අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයින් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමේදී අදාළ රටේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව මෙහෙයවිය යුතුය.

“ක්‍රීඩා කටයුතු රජයන් විසින් පැහැදිලිවම තහනම් කර ඇති විට, ඒ සඳහා අනුමැතිය රජයෙන් ලබා ගන්නා තෙක් ක්‍රිකට් ක්‍රියාකාරකම් ආරම්භ නොකළ යුතුය” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් නිකුත්  කරන ලද උපෙදේශන මාලාවේ පැහැදිළිවම සටහන් වී තිබිණ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ජූනි මස 1 වැනිදා සිට ආරම්භ කරන ලෙද ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිර්දේශ කර තිබිණ.

“උපකරණ බෙදා ගැනීම අතීතයේ දෙයක් බවට පත්වනු ඇත” යන්න එහි මූලිකාංගයකි. සුදුසු පිරිසිදු කිරීමේ නියමයන් අනුගමනය නොකරන්නේ නම් හැකි සෑම අවස්ථාවකදීම ක්‍රිකට් උපකරණ වෙනත් කිසිවෙකු සමඟ බෙදා නොගත යුතුය” යන්නත් දැඩි නිර්දේශයකි.

 

 

 


අදහස් (0)

දැඩි නීතිරීති - කොන්දේසි මැද ජාතික සංචිතයේ පුහුණුව අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.