Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්වැනි දිනයට මන්දාලෝකයෙන් බාධා

තුන්වැනි දිනයට මන්දාලෝකයෙන් බාධා

editorial - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාවල්පිණ්ඩි නගරයට දිගින් දිගටම පවතින වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අදත් (13 වැනිදා) මන්දාලෝකයෙන් බාධා ඇතිවිය. අද දිනයේ යැවිය හැකිවූයේ පන්දු 32 ක් පමණි.

ඊයේත් පැවැති අධික වර්ෂාව හේතුවෙන් අද දිවා ආහාරය දක්වාම ආරම්භය පමා වූ තරගයේ තුන්වැනි දින පස්වරු 1.36 ට ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 282 ක ලබා සිටියේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (12 වැනිදා) වැහි අඳුර හේතුවෙන් තරගය නතර කරන විටත් කඩුලු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද පෙරවරුවේදී කඩුලු දවාගැනීමේ අවසරයක් නොදී තවත් ලකුණු 19 ක් තම පිලට එකතු කළහ. විදුලි ආලෝක කුළුණු ක්‍රියාත්මකව තිබුණද විදුලි ආලෝකය මධ්‍යයේ තරගය පවත්වාගෙන යා නොහැකි විය.

මන්දාලෝකය හේතුවෙන් අද ක්‍රීඩාව නතර කිරීමට පන්දු දෙකකට පෙර, නසීම් ෂාගේ කෙටි පන්දුවක්, අලංකාර පුල් පහරකින් හතරේ සීමාවට යැවීමට ධනංජය ද සිල්වා සමත් වූයේය. එහෙත් ඕවරය අවසානයේදී විනිසුරුවරයාගේ සාක්කුවෙන් එළියට ආ ආලෝක මානයේ අගය අපේක්‍ෂිත අගයට වඩා පහළ මට්ටමක විය.

එබැවින් ක්‍රීඩකයන් සමග ආපසු ක්‍රීඩාගාරයට යාමට විනිසුරුවරුන් තීරණය කළේ පාකිස්තානු පිලට ඇතුළත්ව සිටින්නේ වේග පන්දු යවන්නන් සිව් දෙනකු බැවිනි. පාකිස්තානු පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ වේගය නිරන්තරයෙන්ම පැයට කිලෝ මීටර 135 ත් 148 ත් අතර පැවැතිණ.

අද තරගය පැවැති ඕවර කිහිපයේදී පන්දු යැවූ ශහීන් ෂා අෆ්රීඩි කඩුල්ල එල්ලයේ පන්දුව පතිත කරමින් සිටියේය. එවන් අවස්ථාවකදී ආරක්‍ෂාකාරීව පන්දුවේ ගමන් මග අහුරනු විනා වෙනත් යමක් කිරීම පිතිකරුවන්ට අසීරු තත්ත්වයක තිබිණ.

පාකිස්තානු පිලේ හිටපු නායක සහීඞ් අෆ්රීඩිගේ ඥාති පුතණුවන් වන සහීන් ෂා අෆ්රීඩි පන්දුවේ දෝලනය ලබාගැනීමට අසමත් වූ නමුත් නසීම් ෂා පිතිකරවාගෙන් ඉවතට පන්දුව දෝලනය කරමින් සිටියේය.

එක් අවස්ථාවකදී නසීම් ෂාගේ පන්දුවකට ධනංජය ගැසූ පහරක් නිසි ආකාරයෙන් පිත්තේ නොවැදී බිම වැදී කඩුල්ල අසළින්ම වැටිණ. පන්දුව කොහේ ගියේද යන්න පිතිකරුවාට වැටහීමක් නොතිබූ අතර පන්දු යවන්නා සිටියේ කඩුල්ල දවාගත්තේ යයි උද්දාමයෙනි. එහෙත් තණතීරුවේ වැදී නැවතත් ඉහළ ගිය පන්දුව කඩුල්ල අසලින්ම පතිත වී ඉවතට ඇදි ගියේ ශතකය පෙනෙන මානයේ සිටි පිතිකරුවාගේ නලලත රැළි නංවමිනි.

රාවල්පිණ්ඩි ක්‍රිකට් ලෝලීන්ගේ අත්පොළසන් මැද තරගය ආරම්භ වන විටත් පිටියේ විදුලි ආලෝක කුළුණු ක්‍රියාත්මකව තිබිණ. පළමු පන්දුව සහීන් ෂා අෆ්රීඩිගේ කෙටි පන්දුවක් විය. එහෙත් පන්දු දෙකකට පසුව යැවුණු පන්දුව හතරේ සීමාවට යැවීමට ධනංජය සමත් වූයේ අනෙක් අන්තයේ සිටි ඩිල්රුවන් පෙරේරාගේ ධෛර්යය වැඩි කරමිනි.

..


අදහස් (0)

තුන්වැනි දිනයට මන්දාලෝකයෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.