Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජයග්‍රාහී කණ්ඩායම වෙනස් කරනවාද ? නැද්ද?

ජයග්‍රාහී කණ්ඩායම වෙනස් කරනවාද ? නැද්ද?

දමින්ද විජේසූරිය - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් වාර්තාව සටහන් වන්නේ තරග 19යි, ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 14 යි, සිම්බාබ්වේ ජයග්‍රහණ 0 යි, ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග 5 ක් වශයෙනි. ශ්‍රී ලංකාව නියෝජනය කළ පැරණි කණ්ඩායම් සමග සංසන්දනය කිරීමේදී මෙවර සිම්බාබ්වේ බලා ගොස් තිබෙන්නේ තරමක් දුර්වල කණ්ඩායමක් වූවත් ඔව්හු සිම්බාබ්වේ පිලට එරෙහිව පවත්වාගෙන යන අපරාජිත වාර්තාව රැකගත්තා පමණක් නොව තරගයේ අවසන් හෝරා දෙකේදී සිම්බාබ්වේ ක්‍රීඩකයන් පීඩනයට පත්කරමින් තරගය ජයගැනීමටත් සමත් වූහ.

එවන් ඉරණමකට මුහුණ දුන් නමුත් සිම්බාබ්වේ ක්‍රීඩකයන්ගේ සූදානම හෙට (27 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය ජයගනිමින් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීම බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව කියයි.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර දෙවැනි ටෙස්ට් තරගය, පළමු තරගය පැවැති හරාරේ ක්‍රීඩාංගණයේදීම, ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ කුසල් ජනිත් පෙරේරා ගෙදර දමා සිම්බාබ්වේට කැඳවාගෙන ගිය ළහිරු තිරිමාන්නට අවස්ථාව දෙන්නේ කෙසේද යන්නයි. පළමු තරගයේදී අසාර්ථක වූයේ පිතිකරුවන් දෙදෙනකු පමණි. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සහ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඔවුන් දෙදෙනාය.

ඕෂධ පළමු තරගයේදී අසාර්ථක වූ බව සැබෑවකි. එහෙත් තවමත් ටෙස්ට් තරග 5 ක පමණක් සහභාගි වී සිටින මෙම දකුණත් පිතිකරුවා සිය ටෙස්ට් තරග 5 දී ලකුණු ලබාගත් ආකාරය සටහන් වන්නේ 19, 37, 0, නොදැවී 75, 40, 4, 102, 21 සහ නොදැවී 4 ක් වශයෙනි. අනෙක් පසින් ඇත්තේ ජයග්‍රාහී කණ්ඩායමක් වෙනස් කරන්නේ කෙසේද යන ප්‍රශ්නාර්ථයයි. දිනේෂ් චන්දිමාල් වුවද සිම්බාබ්වේ පිලට මුහුණ දුන් එකම ඉනිමේදී අසාර්ථක වූ නමුත් ඊට පෙර තරගයේදී පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේදීම ලකුණු 74 ක් ලබාගත්තේය.

අනෙක අතට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින පළපුරුදුම දඟ පන්දු යවන්නා වන ඩිල්රුවන් පෙරේරා වෙනුවට පිට දඟ පන්දු යැවීමට කැඳවූ ධනංජය ද සිල්වා පිතිකරුවකු වශයෙන් සිය උපරිම සේවය කිරීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් හෙට තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානය හෝ බිල්ලට දෙමින් ළහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවන්නේද නැතහොත් ඔහු සංචාරයේ සාමාජිකයෙක් පමණක් වෙන්නේද යන ප්‍රශ්නය ඉතිරි වී තිබේ.

පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නැති හරාරේ තණතීරුවේදී ශ්‍රී ලංකා පිලේ සංයුතිය වූයේ වේග පන්දු යවන්නන් 3ක්, දඟ පන්දු යවන්නෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් පිටියේ දිගු ගමනක් යාමට මනා සූදානමකින් සිටින බව මේ වන විටත් තහවුරු කර තිබේ. ඉදින් අතර තරගයේදී වෙනස් විය හැකිනම් ඒ ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන්ගේ සංයුතියයි. මක්නිසාද යත් ඩිල්රුවන් පෙරේරා තවමත් බංකුවේ සිටින බැවිනි.

මේ වන විට ටෙස්ට් ලකුණු 5904 ක් ලබා සිටින ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 6000 ලැබූවන්ගේ සමාජයට එක්වීමට සූදානමින් සිටී.

මේ අතර තරගයේ දෙවැනි සහ තුන්වැනි දිනවලදී වර්ෂාව ඇදහැළීමේ අනාවැකි ද පළව තිබේ. ශ්‍රී ලංකා පිල 1-0 ක් ලෙසින් තරගයේ ඉදිරියෙන් සිටින බැවින් තරගාවලිය ජයගැනීමට නම් ශ්‍රී ලංකා පිලට මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම වුවත් සෑහේ.

ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේදී ලබාගන්නා ජය එතරම් බලපෑමක් ඇති නොකරන්නේ මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියටද ඇතුළත් නොවන බැවිනි.

 


අදහස් (0)

ජයග්‍රාහී කණ්ඩායම වෙනස් කරනවාද ? නැද්ද?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.