Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගංගුලිට පාකිස්තානයෙන් දරුණු ප්‍රහාරයක්

ගංගුලිට පාකිස්තානයෙන් දරුණු ප්‍රහාරයක්

editorial - 2020 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය අවලංගු කරන ලද බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා කළ ප්‍රකාශය කිසිම වැදගැම්මකට නැති එකක් බවත්, එවැනි වැදගත්කමක් සහිත නිවේදනයක් නිකුත් කළ හැක්කේ ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයාට පමණක් බවත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කියා සිටී.
 
පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂ සාමි උල් හසන් මහතා විසින්,  පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඉරණම තීරණය කිරීම ආසියානු ක්‍රිකට් සභාව සතු වගකීමක් බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ඒ සම්බන්ධයෙන් කිසිවක් තනිවම තීරණය කළ නොහැකි බවත් සාමි උල් හසන් මහතා කියා සිටී.

ආසියානු කුසලානය අවලංගු කර ඇති බව සව්රව් ගංගුලි මහතා ඊයේ (8 වැනිදා - බදාදා) නිවේදනය කළේය. එහෙත් ඉන්දීය පිලේ හිටපු නායකයාද වන ගංගුලි මහතා මෙම තරගාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් සාධාරණ පැහැදිලි කිරීමක් හෝ හේතුවක් ඉදිරිපත් නොකළේය. කෙසේ වෙතත් ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා සත්කාරක රටක් තීරණය කිරීමට අපොහොසත් වීම ගංගුලි මහතාගේ ප්‍රකාශයට පදනම විය හැකිව තිබිණ.

“දෙසැම්බරයේදී, (ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී) අපට පළමු සම්පූර්ණ මාලාවක් තියෙනවා.  සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය අවලංගුයි“ යයි සව්රව් ගංගුලි මහතා ඉන්ස්ටග්‍රෑම් සජීවී සැසියකදී ඊයේ (8 වැනිදා) පැවසීය.

කෙසේ වෙතත්, සාමි උල් හසන් මහතා ගංගුලිගේ ප්‍රකාශයට එකහෙළාම විරුද්ධ වී සිටී.

“සෞරව් ගංගුලිගේ ප්‍රකාශ දැනට සිදුවෙමින් පවතින දේවලට කිසිදු බලපෑමක් ඇති නොකරයි. ඔහු සෑම සතියකම අදහස් දැක්වුවත් ඒවායේ කිසිම වැදගැම්මක් නෑ” යයිද සාමිඋල් හසන් මහතා සිය නිවේදනයෙන් කියා තිබිණ.

“ආසියානු කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගනු ලබන්නේ ආසියානු ක්‍රිකට් සභාව විසින්. මෙම නිවේදනය කළ හැක්කේ ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන බංග්ලාදේශ ජාතික නස්මුල් හසන් මහතාටයි. ඒත් අපගේ දැනුමට අනුව, මීළඟ ආසියානු ක්‍රිකට් සභා රැස්වීමේ දිනයවත් තවමත් ප්‍රකාශයට පත් කර නෑ” යයිද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියයි.

ආසියානු කුසලාන තරඟාවලියේ කාලසටහන සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය කාලයේ අං පටලවාගෙන සිටියහ. ආසියානු කුසලාන තරඟාවලියේ 15 වැන්න මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. එහෙත් මෙම තරගාවලිය සඳහා පාකිස්තානය සත්කාරකත්වය සපයන බව ආසියානු ක්‍රිකට් සභාව විසින් තහවුරු කරන ලදී.

එසේ තිබියදීත්, ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද  හේතුවෙන් ඉන්දීය පිල සහභාගි වන තරග පාකිස්තානයෙන් පිටතදී පවත්වන ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පාකිස්තානයෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉන්දියානුවන්ගේ ඉල්ලීම වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  (ඩුබායි) තරග පවත්වන ලෙසයි.

මේ වසරේ පෙබරවාරියේදී ගංගුලි මහතා පවසා තිබුණේ ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පවත්වන බවත් ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම ක්‍රීඩා කරන බවත්ය. එදා සිට, ආසියානු කුසලාන තරගාවලිය අවලංගු කළේ යයි ඊයේ (8 වැනිදා) පවසන තෙක්ම ගංගුලි මහතා නැවත නැවතත් එකම දේ කියා තිබේ. එහෙත් ගංගුලි මහතාගේ ප්‍රකාශයන් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එෂාන් මානි මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි නිසාමුදින් චෞද්රි මහතා පවා විශ්වාස කරන්නේ 2020 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීමට තවමත් අවස්ථාවක් තිබෙන බවයි.

“මා සිතන පරිදි 2020 ආසියානු කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා ආසියානු ක්‍රිකට් සභාවේ කළමනාකාරිත්වය කටයුතු කරමින් සිටිනවා. නියමිත වේලාවට තරඟාවලිය පැවැත්විය නොහැකි නම් ඔවුන් වෙනත් විකල්පයන් පිළිබඳව සොයා බලමින් සිටිනවා“ යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි නිසාමුදින් චෞද්රි මහතා පැවසීය.

ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වන්නේ බංග්ලාදේශ ජාතික නස්මුල් හසන් මහතායි.

- 213


අදහස් (0)

ගංගුලිට පාකිස්තානයෙන් දරුණු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.