Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කී‍්‍රඩා රැසක්ම අසාර්ථක වූ වසරක නිමාව

කී‍්‍රඩා රැසක්ම අසාර්ථක වූ වසරක නිමාව

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ජනේරුව’ ලබමින් ජනාධිපතිවරණයට දින ළංවෙද්දී රටේ බොහෝ දෙනකුගේ අවධානය ඒ කෙරෙහිය. සමහරුන්ට නත්තල් සීතලවත් නොදැණුනු තරම්ය. ජනාධිපතිවරණය ඒ තරමට රටේ උණුසුමක් ඇති කර තිබේ.

මුණ ගැසෙන බොහෝ දෙනකු එකිනෙකාගෙන් විමසන්නේ ජනාධිපතිවරණයේදී මොනවා වෙයිද කියාය. නමුත් 2014 වසරේ ක‍්‍රීඩා පිටියේ සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව කතා බහක් නැති තරම්ය.

රජය පිළිගත් මෙරට ලියාපදිංචි ක‍්‍රීඩා ගණන දැන් 48 කි. එයින් කීපයක් පමණක් රටේ ජනතාවගේ ඉහළ අවධානයක් දිනා සිටියත් ලියාපදිංචි වී ඇති සමහර ක‍්‍රීඩා පිළිබඳව ජනතාව දැනුම්වත් නැති තරම්ය.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුග‍්‍රහය ඒ සමහර ජාතික ක‍්‍රීඩා සංගම්වලට ඉහළින් ලැබුණත් සමහර ඒවාට නැති තරම්ය. ගෙවී ගිය 2014 වසරේදී ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ‘කොඳුනාරටිය’ ලෙස හැඳින්විය හැකි ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ඒ සඳහාම රජයේ මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 2223 කට ආසන්න මුදලක් වෙන් කළ බවද මෙහිලා සඳහන් කළ යුතුය.

නමුත් රටේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාව ලෙස කවුරුත් පිළිගන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව රජයේ බදු මුදල් වලින් තොරව දුවන අද රටේ පොහොසත්ම ක‍්‍රීඩාව බවටත් පත්ව තිබේ.
2014 වසරේදීත් රටේ කීර්තිය දිනා ගැනීමට ලොකු වැඩ කොටසක් කළේ කි‍්‍රිකට් ක‍්‍රීඩාවය. ඒ බංගලාදේශයේදී පැවති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හා ආසියානු කුසලාන (එක්දින) තරගාවලි දෙකම ජය ගනිමිනි.

එපමණක්ද නොවේ. ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උළලට ශී‍්‍ර ලංකාවෙන් ක‍්‍රීඩා කණ්ඩායම් ගණනාවක් සහාභාගී වුණත් ශ්‍රී ලංකාවට එහිදී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් පමණි. මෙම ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනා ගත් සෙසු එකම (ලෝකඩ) පදක්කම දිනා ගත්තේද ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙනි. ඒ ක‍්‍රීඩා උළලේ විස්සයි - 20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි ස්ථානය ලබමිනි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව විශිෂ්ඨතම පිතිකරුවෙකු මෙන්ම ටෙස්ට් නායකයෙකු ලෙස සළකන මහේල ජයවර්ධන වසර 17 ක ටෙස්ට් දිවියෙන් සමුගැනීම ක‍්‍රිකට් පිටියේ හැඟුම්බර අවස්ථාවක් විය. තවත් වඩාත් හැඟුම්බර අවස්ථාවක් මෙරට ක‍්‍රිකට් ලෝලීන්ට වසර අවසානයේදී සිදුවූ එංගලන්ත පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී දක්නට ලැබුණි. ඒ මහේල ජයවර්ධන මෙන්ම කුමාර් සංගක්කාරද මෙරට ක‍්‍රීඩා කරන අවසන් එක්දින තරගයට කොළඹ ‘ආර්. පේ‍්‍රමදාස’ පිටියේදී සහභාගී වීමය.

මෙරට ක‍්‍රීඩා පරිපාලනයේ ආරවුල් නැති දවසක් නැති තරම්ය. ඒ නිසාම වත්මන් ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසන්නේ පරිපාලන අර්බුද විසඳාගෙන හරියට වැඩක් කිරීමට බලධාරියෙකුට අවම වශයෙන් වසර හතරකවත් නිල කාලයක් ලබාදිය යුතු බවය.

පදක්කම් ගැන කතා කරන විට මුලින්ම සිහිපත් වන ක‍්‍රීඩාව මලල කී‍්‍රඩාවය. නමුත් ගෙවී යන 2014 දී මෙරට මලල ක‍්‍රීඩාවෙන් එහෙම තත්වයක් දක්නට නොලැබුණි.

කොරියාවේ ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උලලේදී මෙන්ම ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උලලේදීත් මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් තබා තිබූ ශ්‍රී ලංකාවේ පදක්කම් අපේක්ෂා බිංදුවටම බැස්සේය.

කොටින්ම ක‍්‍රීඩා ඇමතිවරයා සහ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සමග ඒ නිසාම විරසක වූ වසරක් බවට 2014 පත් විය. සමහරු ක‍්‍රීඩා අමාත්‍යාංශයට මලල ක‍්‍රීඩා අමාත්‍යාංශය කියන තරමට කී‍්‍රඩා අමාත්‍යංශය මලල කී‍්‍රඩාවට වියදම් කරන නිසා පරදිනවිට ඇමතිවරයාගේ උදහසත් ඒ තරමට වැඩි වන බැව් ඇතැමුන්ගේ අදහසයි.

වැඩි අවධානයක් රටේ දිනා නොගත්තත් අන්තර් ජාතික ඉහළම මට්ටමේ පදක්කමක් මේ වසරටත් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බර ඉසිලීමේ ක‍්‍රීඩාවෙනි.

ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මඩුලූ ක‍්‍රීඩා උළලේදී බර ඉසිලීමෙන් මෙවරත් පදක්කමක් දිනා දුන් ඔහු සුදේෂ් පීරිස්ය.

සුදේශ් වසර 2010 ‘නවදිල්ලි’ පොදු රද මඩුලූ ක‍්‍රීඩා උළෙලේදීත් බර ඉසිලීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් අයෙකි. ශ්‍රී ලංකාවට පිට පිටම පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල තුනකදී පදක්කමක් දිනා දීමේ ගෞරවය ලබන්නේ බර ඉසිලීමෙන් වීම කැපී පෙනේ.

ඊළඟට 2014 කෙළිබිමේ දස්කම් අතර අපට කායවර්ධන ක‍්‍රීඩාවන් කෙසේවත් අමතක කළ නොහැකිය. ඒ කොළඹදී පැවැති ආසියානු කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වීමෙනි.

ශ්‍රී ලංකාවේ කායවර්ධන ක‍්‍රීඩකයකු බ‍්‍රසීලයේ පැවැති ලෝක කායවර්ධන තරගාවලියේදීත් දස්කම් දක්වමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම මෙහිලා සිහිපත් කළ යුතුය. ඒ නිසා 2014 වසර මෙරට කායවර්ධන පරිපාලන ප‍්‍රගතියක් ඇති කර ගත් වසරකි.

කඳ පමණක් නොව හිසත් ඇති නිලධාරීන් දැන් මෙරට කායවර්ධන පරිපාලනයට පිවිස සිටින බව ඒ පිළිබඳව අදහස් දක්වන සමහරුන්ගේ අදහසයි.   

මෙම වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ආසියානු ක‍්‍රීඩා ක‍්‍රිකට් කාන්තා ලෝකඩ පදක්කම දිනා ගත් කතාව ලිපියේ ඉහතින් කීවෙමු.

එහෙත් ඒ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවකගෙන් නිලධාරියෙකු ලිංගික අල්ලසක් ලබා ගැනීමට දැරූ බව කියන උත්සාහයටත් 2014 වසරේදී මාධ්‍ය වෙතින් ප‍්‍රබල ඉඩක් ලැබුණි. එසේ වුවත් 2014 වසර ගෙවී යන මේ මොහොත වන විටත් අගක් මුලක් නැති මෙම ප‍්‍රශ්නය විසඳී නැති බව පෙනේ.

රටේ ජාතික ක‍්‍රීඩාව වොලිබෝල් බැවින් ඒ ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුමය. වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය දීර්ඝ කාලයක් තිස්සේ කැබිනට් ඇමතිවරයෙක් හොබවයි.

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙම වසරේදී තරමක් සැනසීමට පත්කළ සිදුවීමක් වූයේ කොළඹදී පැවති ආසියානු යොවුන් (පිරිමි) වොලිබෝල් තරගාවලියේදී ප‍්‍රබල කොරියාව පරාජය කරමින් පළමු වතාවට එහි පස්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමය.

නමුත් ඉංචියොන් ආසියානු ක‍්‍රීඩා උළලට ගොස් සිටියදී මෙරට ප‍්‍රබලතම වෙරළ වොලිබෝල් ක‍්‍රීඩකයෙකු එරටදී අතුරුදන් වීම වොලිබෝල් සම්මේලනයේ සභාපති, අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද කම්පාවට පත් කළ සිදුවීමකි.

ඇමතිවරයා ඒ ගැන පැවසුවේ අපූරුකතාවකි. විදෙස් සේවා නියුක්ති කාර්යාංශය ද ඇමතිවරයාගේ විෂය පද්ධතියට අයිති වන බැවින් ඇමති ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ එම ක‍්‍රීඩකයා අතුරුදන් නොවී ශ්‍රී ලංකාවට පැමිණ ඉල්ලීමක් කළා නම් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා ඔහුට කොරියාවේ රැකියාවක් සොයාදීමට තමන් උනන්දුවන බවයි.

අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සභාපති ජෝෂප් සෙෆ් බ්ලැටර් මහතා වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රයම ක‍්‍රීඩාව පාපන්දු කරන බවට ප‍්‍රතිඥාවක් දුන්නේය.

2014 වසර ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට සැබවින්ම සතුටු විය නොහැකිය. එහි සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඇතුළු පාපන්දු සම්මේලනයට එරෙහිව නඩු 15 ක් වැටුණු මෙම වසරේදී පාපන්දු පරිපාලන ප‍්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට සභාපතිවරයා ගත් උත්සාහය සාර්ථක නොවීය.  

නමුත් පාපන්දු සම්මේලනයට එරෙහිව එසේ නඩු පැවරුවද සමහරු කීවේ රංජිත් රුද්‍රිගු මහතා කියන සංවර්ධනය කර ගෙන යාමට මෙම නඩු වස්තු විෂයක් නොවූ බවය.

කෙසේවෙතත් බ්ලැටර් මහතා ශ්‍රී ලංකා සංචාරය අවසන් කළේ රංජිත් රුද්‍රගු මහතාට ලකුණු ලබා දෙමිනි. කැපී පෙනෙන තරමේ අන්තර් ජාතික පාපන්දු තරගමාලා සඳහා මෙම වසරේදී ශ්‍රී ලංකාව සහභාගි නොවූ තරම්ය.

ශ්‍රී ලංකවේ දැල්පන්දු ක‍්‍රීඩාවද ප‍්‍රගතියක් අත් කර නොගත් වසරක් ගෙවුණු බව සිහිපත් කළ යුතුය. 2014 වසරේ ප‍්‍රධානතම ඉලක්කය වූයේ ආසියානු කුසලාන දිනා ගැනීමය. නමුත් මෙවරත් එය අසාර්ථක වූයේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවීමෙනි.

මෙරට දැල්පන්දු පරිපාලනයද අවුල් ගොඩකි. කාන්තාවන්ගේ ක‍්‍රීඩාවක් නිසා එහෙම වී ඇතැයි සමහරු කීවත් පිරිමි පාලනය කරන රටේ බොහෝ ජාතික ක‍්‍රීඩා සංගම්වල තත්ත්වයත් එසේම බව සිද්ධවෙනදේ වලින් පෙනේ.

නමුත් ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයට පසුගිය කාලයේදී එල්ලවී තිබෙන චෝදනාවක් වන්නේ සුපිරි බල අනුග‍්‍රාහකයෙකු සිටියත් දේශීය තරගමාලා පවා පසුගිය වසරේදී නිසි ලෙස සංවිධානය නොවූ බවටය.

එම චෝදනාව එල්ල වන්නේ ආසියානු දැල්පන්දු සංගමයේද වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මිය ඇතුළු නිලධාරීනියන්ටය.

රග්බි ක‍්‍රීඩාවෙන්ද ශ්‍රී ලංකාව 2014 වසරේදී අත්කර ගත්තේ පසුබෑම් බව පහැදිලිවේ. සුපිරි අනුග‍්‍රාහකයන් පිරිවරා සිටින ශ්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාව කඩා වැටී ඇතැයි හෙළිවූයේ ආසියාවේ ප‍්‍රබලයන් අතර පැවැති තරගාවලියේදී ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාව කලාපයේ දෙවනි තත්වයට වැටීමෙනි.

මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල ඇතුළු අන්තර් ජාතික තරග මාලා ගණනාවකදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පසුබෑමට ලක් විය. ශ්‍රී ලංකාවේ රග්බි ක‍්‍රීඩාවට සුපිරි තත්ත්වයක් ලැබුණේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා රග්බි ක‍්‍රීඩාවට පිවිසි නිසා බව මත පළ කරන්නෝද මේ අතර වෙති.

වසර අවසානයේදී එල්ලේ ක‍්‍රීඩාවට රජයෙන් පුදුම ලෙන්ගතුකමක් දක්නට ලැබුණි. ඒ ක‍්‍රීඩා සමාජ වලට හා ප‍්‍රධානීන්ට රජය ශාලිකා පිටියේදී ලොකු උත්සවයක් පවත්වා මුදල් ප‍්‍රදාන සිදු කිරීමය.

සමහරු ‘උණබම්බුවේ ක‍්‍රීඩාව කියා හැඳින්වූවත් මෑත කාලයේදී එල්ලේ සම්මේලනයේ විධායක සභාව අරලියගහ මන්දිරයේදී රැස්වීමට තරම් බලවත් වූයේ ඇයිද යන්න මෙරට එල්ලේ ක‍්‍රීඩා ලෝලීන්ට අමුතුවෙන් මතක් කළ යුතු නැත.

ජාතික ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා අමාත්‍යවරයා අතර ක‍්‍රීඩා පනත සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආරවුල 2014 ගෙවී යන මොහොතේදීත් අවසන්වී තිබුණේ නැත. ඒ නිසා එම ප‍්‍රශ්නය එළඹෙන 2015 ටත් ඉතිරිවී තිබීම එහි වත්මන් සංකීර්ණ තත්ත්වය හෙළි කරයි.

ඇතැමුන් පැවසුවේ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් අනුර ජයවික‍්‍රම මහතාට යන්නට සිදුවූ හේතුව වූයේද ඔලිම්පික් කමිටුවේත් ක‍්‍රීඩා අමාත්‍යාංශයේත් හබය බවයි. එය කොතරම්ද යන්න දැන් සිහිපත් වන්නේ ක‍්‍රීඩා ඇමතිවරයා කළ ප‍්‍රකාශනයකිනි.

ඇමතිවරයා දැන් පවසන්නේ දෙපාර්ශ්වය අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය සතුවූ ‘ලූසාන්’ සංචාරය ගුවන් ගමනකට පමණක් සීමාවූ බව පිළිගැනීමට ගිය පාර්ශවයට දැන් සිදුවී තිබෙන බවය.

පාපැදි ක‍්‍රීඩාවෙන්ද ගෙවුණු වසරේදී ශ්‍රී ලංකාවට කීර්තියක් නොලැබුණු තරම්ය. ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා පාපැදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ වේගය සැලකීමේදී ඔවුන් අන්තර් ජාතික වශයෙන් තවමත් පසුබට ස්ථානයක බව තීරණය කළ හැකිය.

මේ වසරත් ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඇඟ බේරා ගැනීමේ උත්සාහය නිරත වූ බව ක‍්‍රීඩා සමාජ චෝදනා කරති. ඒ දේශීය තරග කීපයක් පැවැත්වීමට කටයුතු කිරීමෙනි.

වරක් ජාතික ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීන්ගේ හමුවකදී ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසුවේ වසරකට වරක් පැවැත්වෙන ජාතික තරගාවලියට අනුග‍්‍රාහකයෙකු සොයා ගැනීමට නොහැකි නිලධාරීන් ජාතික ක‍්‍රීඩා සංගමයක මුල් පුටුවට කෙසේවත් සුදුසු නැති බවය.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජාතික තරගාවලිය සඳහා ඔවුහු ජාතික ක‍්‍රීඩා සංගමයකට ක‍්‍රීඩා අමාත්‍යාංශය ප‍්‍රතිපාදන ලබා නොදෙන බවය.

නමුත් ඇමතිවරයාගේ ගම් පළාතවන නාවලපිටියේ පැවැති ජාතික පාපැදි තරගාවලියට වියදම් ලබා ගන්තේද ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන්ම බව පසුව වාර්තා විය.

කියන්නේ එකක්ය, කරන්නේ තව එකක් කියා ඒ ගැන සමහරු කියන්න ගත්හ.
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට යොදාගත් පරිදි නිලවරණය මෙම වසරේවත් පැවැත්වීමට නොහැකිවූ අතර එහි දෙපාර්ශයවයක් අතර පවතින පරිපාලන ආරවුල් මෙතෙක් විසඳී නොමැත. මෙරට පිහිනුම් ක‍්‍රීඩාවේ තත්ත්වයත් 2014 වසරේදී ඉහළ නොගිය බව පෙනේ.

ග්ලාස්ගෝ පොදු රද මඩුලූ ක‍්‍රීඩා උළලට සහභාගිවූ මෙරට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලබාගත් ප‍්‍රතිඵල අනුවත් කියන්නේ ඔවුන්ට අන්තර් ජාතික වශයෙන් තවත් සිතන්නට බොහෝ දේවල් තිබෙන බවය.

බිලියඞ් හා ස්නූකර් ගැන වැඩි දෙයක් කතා නොකළත් ජාතික බිලියඞ් ශූරතාව 2014 වසරට කේ.එච්. සිරිසෝම දිනා ගත්තේ 23වෙනි වතාවටත් වීම විශේෂ සිද්ධියකි. 49 හැවිරිදි සිරිසෝමගේ මෙම දස්කම සැබැවින්ම අගය කළ යුත්තකි.

රටේ හොකී ක‍්‍රීඩාවේ තත්ත්වය 2014 දීත් වෙනසක් නොමැති තරම්ය. ආසියානු ක‍්‍රීඩා උළලේදී අන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා හොකී කණ්ඩායම පෙරළා දිවයිනට පැමිණියේ එක් ක‍්‍රීඩකයෙකු නොමැතිවය. හේතුව ඔහු කොරියාවේදී අතුරුදන්වීමයි.
 
ඒ නිසා මෙරට හොකී බලධාරීන් දැන් ගෙවන්නේ නිහඬ දිවියකි. කෙසේවුවත් ඉංචියොන්හිදීද පැවැති ආසියානු පැරා ක‍්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවේ ආබාධිත ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දැක්වූ දස්කම් අගය කළ යුතුමය.

එහිදී ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදී පදක්කම් හයක් හා ලෝකඩ පදක්කම් හතක් දිනා ගනිමින් දැක්වූ දස්කම් ඉහළින් අගය කළ යුත්තේ ඇස් අත් දෙපා හොඳින් පිහිටා තිබූ අයටත් කළ නොහැකි දෙයක් ඔවුන් කළ නිසාය.

 


අදහස් (0)

කී‍්‍රඩා රැසක්ම අසාර්ථක වූ වසරක නිමාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.