Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුම ප්‍රශ්න කරති

ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුම ප්‍රශ්න කරති

editorial - 2021 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුම් මේ වන විටත් ක්‍රීඩකයන් 24 දෙනකු වෙත ලබාදී ඇතත් ක්‍රීඩකයෝ ඒවා සම්බන්ධයෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටිති. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනකු  සමග සූම් තාක්‍ෂණය ඔස්සේ කරුණු පැහැදිළි කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇතත් ක්‍රීඩකයන් තවමත් වාර්ෂික ගිවිසුමට අත්සන් තබා නැතැයි දැනගන්නට තිබේ.

මෙම තත්ත්වය මත ක්‍රීඩකයන් 18 දෙනකු බංග්ලාදේශය බලා පිටත්ව ගොස් ඇත්තේ වාර්ෂික ගිවිසුම් අත්සන් නොකරමිනි. එහෙත් ඔවුන් සියලු දෙනාම සංචාර කොන්ත්‍රාත්තවක් මත බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

“අපි දැන් ගිවිසුම ක්‍රීඩකයන්ට දීලා තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් වැඩි දුරටත් අධ්‍යයනය කරන්න වගේම විමසන්න ක්‍රීඩකයන්ටත් ඔවුන්ගේ කළමණාකරුවන්ට නැත්නම් නීතිඥවරුන්ටත් අවස්ථාව තියෙනවා” යයි කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම පරිපාලන නිලධාරියෙක්...

“ඒත් ඔවුන් දිගින් දිගටම මේක අත්සන් කිරීම ප්‍රමාද කරනවා නම් අපට තියෙන්නේ ඒ ගොල්ලන්ට නියමිත දිනයක් කියන එකයි. එදාට ඉස්සරවෙලා ගිවිසුම අත්සන් කරන්න බැරිනම් ඒ අයට සංචාරයකට සහභාගි වෙන්න වෙන්නේ ‘සංචාර කොන්ත්‍රාත්තුව’ මතයි.....යයි පැවසීය.

“ඒත් වාර්ෂික කොන්ත්‍රාත්තුව සහ සංචාර කොන්ත්‍රාත්තුව කියන්නේ බොහෝ පරතරයක් තියෙන දෙකක්” යයිද හෙතෙම අවධාරණය කළේය.

නව වාර්ෂික ගිවිසුම් සකස් කිරීමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේම දීමනා වලින් විශාල ප්‍රමාණයක් කැපී ගොස් තිබේ. ඒ අනුව හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන තිදෙනාගෙන්ම කලින් වසරේදී පැවැති කොන්ත්‍රාත් මුදලින් 50% ක් පමණ කැපී ගොස් තිබේ. වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගෙන් 30% ක් පමණ  කැපී ගොස් තිබේ.

එබැවින් මෙම මුදල් කපා හැරීමේත්, නව කොන්ත්‍රාත්තු සකස් කිරීමේත් ක්‍රමවේදය පැහැදිළි කරන ලෙස ක්‍රීඩකයෝ ඉල්ලා සිටිති.

මෙම නව ක්‍රමවේදය සකස් කර ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන මණ්ඩලය විසිනි. එහිදී ක්‍රීඩකයන්ගේ දස්කම් (50%), ශාරීරික යෝග්‍යතාව (20%), ක්‍රීඩකයන්ගේ ස්වාධීන සූදානම (10%), නායකත්වය සඳහා පෙරමුණ ගැනීම (10%) සහ අනාගතය සඳහා වැඩදායි බව (10%) වෙනුවෙන් ප්‍රසාද ලකුණු ක්‍රමයක් භාවිතා කර තිබේ. මේ සඳහා ක්‍රීඩකයන් ඒ, බී, සී, සහ ඩී යනුවෙන් කාණ්ඩ  4 ක් ඔස්සේ ශ්‍රේණිගත කර තිබේ. මෙම එක් එක් කාණ්ඩයේදී තවත් අනු කාණ්ඩ 3 කි.

ඒ අනුව ඒ - 1 කාණ්ඩයයට ඇතුළත්ව ඇත්තේ ටෙස්ට්, ඒක්දින සහ විස්සයි-20 යන කාණ්ඩ තුනේදීම නිරන්තරයෙන් රැඳී සිටින ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල පමණි. එක්දින කණ්ඩායමේ නායකයා වන කුසල් පෙරේරා සහ මේ වන විටත් එක්දින සහ වි-20 කණ්ඩායමේ ස්ථානය අහිමි වී සිටින ඇන්ජලෝ මැතිව්ස් ඒ-2 කණ්ඩයට ඇතුළත් වී තිබේ.

දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන්නේ යයි ලෝ පුරා ක්‍රිකට් විශාරදයන්ගෙන් විවරණ ලැබූ ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් ඒ-3 කාණ්ඩයට වැටී තිබේ.

“මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ ක්‍රීඩකයන්ගේ මෑත කාලීන දස්කම් අනුව මේ වර්ගීකරණය කරලා තියෙන නිසයි. දැන් බලන්න ලසිත් මාලිංග මේ ක්‍රීඩකයන් 24 දෙනාටම ඇතුළත් වෙලා නෑ. මොකද එයා පසුගිය මාස 14 ටම කිසිම තරගයකට ක්‍රීඩා කරලා නෑ. ඒත් එයා තාමත් අපේ ක්‍රීඩකයන් ගොන්නේ ඉන්නවා” යයි මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් අතැඹුලක් සේ දන්නා අයෙක් ලංකාදීපයට පැවසීය.

මේ වන විට 37 හැවිරිදි වියේ පසුවන ලසිත් මාලිංග ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික තරග දෙකින්ම විශ්‍රාම ගෙන සිටී. එහෙත් විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු විශ්‍රාම ගෙන නැත.

ඉහළම (ඒ-1) කාණ්ඩයේ සිටින ක්‍රීඩකයකුට වාර්ෂික ගිවිසුම අනුව ඇමරිකානු ඩොලර් 100,000 ක් හිමිවන අතර පහළම කාණ්ඩයේ සිටින ක්‍රීඩකයකුට හිමිවන වාර්ෂික මුදල ඇමරිකානු ඩොලර් 25,000 කි.

“තම තමන්ගේ දස්කම් වගේම ආකල්ප (වඩා වැදගත්) අනුව, මෙම ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ පහළ යාම ක්‍රීඩකයන් සතු දෙයක්. ඒක් අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමේ... හොඳට කරන අය ඉහළ යයි.”  යයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ක්‍රීඩකයන්ගේ වාර්ෂික කොන්ත්‍රාත් මුදල සංශෝධනය කර ඇති නමුත් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සඳහා වෙන්කරන ලද මුදල වැඩි කර ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ්‍යයේ උසස් නිලධාරියෙක් පැවසීය.

“ඔතන කාටවත් නොපෙනෙන දේ තමයි මේ වතාවේදී ක්‍රීඩකයන්ට පාරිතෝෂික මුදලක් වෙන්කරලා තිබීම. ඒ කියන්නේ තරගාවලියක් ජයගත්තොත් ක්‍රීඩකයන්ට හොඳ පාරිතෝෂිකයක් ලැබෙනවා. ඒ තරගාවලිය ජයගන්නේ අපට වඩා ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින් ඉන්න කණ්ඩායමකට එරෙහිව නම් ඒක ඉතාම හොඳ පාරිතෝෂිකයක් වෙනවා”

“උදාහරණයකට කිව්වොත් අපි දැන් ටෙස්ට් වගේම විස්සයි-20 තරග වලදීත් ඉන්නේ ශ්‍රේණිගත කිරීම අනුව 8 වැනි තැන. ඒත් ශ්‍රේණිගත කිරීම් වලදී ඉහළින්ම ඉන්න එංගලන්තය නැත්නම් ඉන්දියාව වගේ කණ්ඩායමක් තරගාවලියකදී පරාජය කරන්න පුළුවන් නම් ක්‍රීඩකයන්ට පාරිතෝෂිකයක් වශයෙන් හොඳ මුදලක් උපයා ගන්න පුළුවන්” යයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. එම පාරිතෝෂික මුදල ඇතැම් විට ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 2 ක් හෝ 3 ක් විය හැකි බවද හෙතෙම පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ බොහෝ පහළිනි. ටෙස්ට් සහ විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානයට ඇදවැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ සිටි. මේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල ශේ්්‍රණිගත කිරීම් ආරම්භ වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටින පහළම ස්ථානයන්ය.


අදහස් (0)

ක්‍රීඩකයෝ වාර්ෂික ගිවිසුම ප්‍රශ්න කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.