Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 3-2 කින් නවසීලන්තය පරදවයි

එංගලන්තය 3-2 කින් නවසීලන්තය පරදවයි

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඞ්හි ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංණයේදී පැවැති පස්වැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සුපිරි ඕවරයේදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (10 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 11 කට සීමා වූ අතර එහිදී ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 147 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් නියමිත ඕවර 11 අවසානයේදී එංගලන්ත කණ්ඩායමට කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 146 ක් පමණි.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා සුපිරි ඕවරයක් ක්‍රීඩා කිරීමට විනිසුරුවෝ පියවරගත් අතර එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම හයේ පහර 2 ක්ද සමග ලකුණු 17 ක් රැස්කිරීමට සමත් විය. ටිම් සවුති යැවූ සුපිරි ඕවරයේදී ඔයින් මෝගන් පන්දු 3 කදී ලකුණු 9 ක්ද, ජොනී බෙයාස්ටෝ පන්දු 3 ක්දී ලකුණු 8 ක්ද රැස්කළහ.  

සුපිරි ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 18 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් නවසීලන්ත කණ්ඩායමට එහිදී කඩුල්ලක් දැවී හතරේ පහරක් සමග රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණි. ක්‍රිස් ජෝඩාන් යැවූ එම ඕවරයේදී ඔයින් මෝගන් අතට උඩ පන්දුවක් දෙමින් ටිම් සෙයිෆට් ලකුණු 6 කට දැවී ගියේය. ඒ අනුව මෙම තරගයේ ජය මෙන්ම සමස්ත තරගාවලියේ ජයද එංගලන්ත කණ්ඩායම සතු විය.

පන්දු 18 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 47 ක් රැස්කළ එංගලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරු ජොනී බෙයාස්ටෝ තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දැක්වමින් කඩුලු 11 ක් දවාගත් නවසීලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මාටින් ගප්ටිල් (50) සහ කොලින් මුන්රෝ (46) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 83 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ ටොම් බැන්ටන් අතට උඩ පන්දුවක් දෙමින් ගප්ටිල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

පන්දු 20 කදී වාර්තා වූ ගප්ටිල්ගේ අර්ධ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ මුන්රෝගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. වේගවත් පිතිහරඹයක නිතර වූ ටිම් සෙයිෆට් පන්දු 16 කදී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහරක් සමගිනි.


නවසීලන්තය - ඕවර 11 කදී කඩුලු 5 ක් දැවී 146
(මාටින් ගප්ටිල් 50, කොලින් මුන්රෝ 46, ටිම් සෙයිෆට් 39)

එංගලන්තය - ඕවර 11 කදී කඩුලු 7 ක් දැවී 146
(ජොනී බෙයාස්ටෝ 47, ඔයින් මෝගන් 17, සෑම් කරන් 24, ක්‍රිස් ජෝඩාන් නොදැවී 12, මිචෙල් සෑන්ට්නර් 20/2, ජේම්ස් නීෂම් 25/2, ටේ‍රන්ට් බෝල්ට් 35/2)


සුපිරි ඕවරය
එංගලන්තය - කිසිවකු නොදැවී 17
නවසීලන්තය - කඩුල්ලක් දැවී 8

- 036

 


අදහස් (0)

එංගලන්තය 3-2 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.