Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට කඩුලු 8ක ජයක්

එංගලන්තයට කඩුලු 8ක ජයක්

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

කිසිම අපහසුවකින් තොරව සිය ඉලක්කය කරා ගිය එංගලන්ත පිතිකරුවෝ සදම්ප්ටන්හිදී අද (14 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 8ක ජයක් අත්කර ගත්හ.

ටෙස්ට් නායකයා මෙන්ම එක්දින පිලේ ආරම්භක පිතිකරුවාද වන ජෝ රූට් (නොදැවී 100) අගනා ශතකයක් ලබාගත් අතර පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද ක්‍රිස් වෝක්ස් ලකුණු 40 ක් ලබාගත්තේය.

රූට් සහ වෝක්ස් අතර දෙවැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 104 කි.

--------------------------------------------------------------------------------------------------------------

එංගලන්තය පහසු ගමනක

ඕවර 15 යි - එංගලන්තය 100/1 යි
කිසිම අපහසුවකින් තොරව සිය ඉලක්කය කරා යමින් සිටින එංගලන්ත පිතිකරුවෝ ඕවර 15 ක් ඇතුළතදී ලකුණු 100 කඩයිම පසුකර ගියහ. ජෝ රූට් (නොදැවී 42) සහ ජොනී බෙයාර්ස්ටෝ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ පන්දු 87 කිනි.

--------------------------------------------------------------------------------------------------------------

එංගලන්තය හඹා යාම අරඹයි

ඕවර 5 යි - එංගලන්තය 30/0 යි
බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීම සඳහා පන්දු 300 කින් ලකුණු 213 ක් ලබාගැනීමේ පහසු ඉලක්කයක් කරා යමින් සිටින එංගලන්ත පිල වෙනුවෙන් ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ පිතිහරඹය ඇරඹූහ. පළමු ඕවර 5 නිමාවේදී කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු 30 ක් ලබා ගත් එංගලන්ත පිල ලකුණු වේගය 6.00 ක් ලෙසින් රඳවාගෙන සිටී.

එංගලන්ත පිතිකරුවෝ අවසන් වරට සහභාගි වූ එක්දින තරග හතේදීම ලකුණු 300 පසුකර ගියහ.

--------------------------------------------------------------------------------------------------------------

කොදෙව්වෝ 212 කට දැවී යති

බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් දූපතක් වන බාර්බඩොස්හිදී උපත ලද ක්‍රීඩකයකු වන නමුත් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ජොෆ්රා ආචර් මේ වතාවේදී කොදෙව් පිල අමාරුවේ දැම්මේය. ඕවර 9 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් ජොෆ්රා ආචර්ගේ පන්දු යැවීම හේතුවෙන් එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කොදෙව් පිල ලකුණු 212 කට දැවී ගියේය.

පිට පිටම පන්දු දෙකකදී නිකලස් පූරන් සහ ෂෙල්ඩන් කොට්රල් දවාගත් වේග පන්දු යවන්නා කොදෙව් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ ඉනිමත් හමාර කරමින් කොදෙව් පිලේ ගමන ලකුණු 212 දී නවතා දැමීය.

--------------------------------------------------------------------------------------------------------------

එංගලන්ත පන්දු යවන්නෝ පාලනය අතට ගනිති

ඕවර 30 යි - කොදෙව් පිල 145/4
කොදෙව් පිලේ මැද පෙළ පිතිකරුවන් මනාව පාලනය කළ එංගලන්ත පන්දු යවන්නෝ 30 වැනි ඕවරය වන විට සිය ප්‍රතිවාදීන්ගේ ලකුණු සංඛ්‍යාව 150 කට අඩුවෙන් තබා ගත්හ. තරගයේ ඉතිරිව ඇත්තේ ඕවර 20 ක් පමණක් හෙයින් සිය පන්දු යවන්නන්ට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නට නම් කොදෙව් පසුපෙළ පිතිකරුවන්ට ලනුව උඩින් පන්දුව යැවීමට සිදුව තිබේ.

කෙතරම් ප්‍රහාරාත්මක පිතිකරුවන් සිටියද සිය කඩුලු ආරක්‍ෂා කරගැනීම සම්බන්ධයෙන් උනන්දු වූ කොදෙව් පිල ඕවර 20 ක් නිමාවේදී ලබා සිටියේ ලකුණු 82 ක් පමණි. ලකුණු වේගය ඕවරයකදී 4.2 ක් විය. එහෙත් වත්මන් එක්දින තරග වලදී ලකුණු 300 ක් වත් ලබානොගත හොත් තරගයේ ජයග්‍රහණයක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබිය නොහැකි බව දත් කොදෙව්වේ ක්‍රම ක්‍රමයෙන් ලකුණු ලබාගැනීම වේගවත් කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙසින් 20 වැනි ඕවරයත් 30 වැනි ඕවරයත් අතර කඩුලු 2 ක් දැවී ගිය නමුත් ලකුණු 63 ක් ගලා ආවේය.

--------------------------------------------------------------------------------------------------------------

පන්දු 3 ක දී කඩුලු 2 ක් බිම


ඕවර 15 යි - කොදෙව් පිල 60/3

පන්දු 41 කින් ලකුණු 36 ක් ලබාගත් ක්‍රිස් ගේල් කොදෙව් පිල වෙනුවෙන් අත දිගහැරීමට සූදානම් වූවා පමණි. ලයාම් ප්ලන්කට්ගේ පන්දුවකට ගැසූ පහරකින් ඉහළ ගිය පන්දව හතරේ සීමාව ආසන්නයේදීම ජොනී බෙයාර්ස්ටෝ විසින් රැකගන්නා ලදි. තවත් පන්දු දෙකකට පසුව ෂායි හෝප් ද දැවී යාම හේතුවෙන් කඩුලු 1 කට 54 ක් ව තිබූ ලකුණු පුවරුව පන්දු 3 ක් ඇතුළතදී කඩුලු 3 ට 55 ක් ලෙසින් වෙනස් විය. 

ගේල්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 5 ක් සහ හයේ පහරක් පමණි.

-----------------------------------------------------------------------------------------------

ගේල්ගේ උඩපන්දුවක් බිම දමයි  

ඕවර 8 යි - කොදෙව් පිල 26/1

ක්‍රිස් ගේල්  සාමාන්‍යයෙන් කලබලකාරී ආරම්භකයෙක් නොවේ. ඔහු පන්දුව සිය ඇසට හසුකරගැනීමට තරමක කාලයක් ගන්නෙකි. එහෙත් එවන් පිතිකරුවකුට පිටියේ රැඳී සිටීමට අවසර දීම අනතුරකට අත වැනීමකි. 

කොදෙව් පිලේ පළමු ඕවර 5 නිමා වන විටත් පන්දු 16 කට මුහුණ දෙමින් ලකුණු 5 ක් පමණක් ලබා සිටි ක්‍රිස් ගේල් ජොෆ්රා ආචර්ගේ ඊළඟ ඕවරයේදී හතරේ පහර දෙකක්ද සමගින් ලකුණු 10 ක් උදුරා ගත්තේය. අනතුරුව පන්දුව බාරගත් ක්‍රිස් වෝක්ස් පිට ඉන්නට ඉවතින් යැවූ පන්දුවට ගේල් ගැසූ පහර තර්ඞ් මෑන් දෙසට ඇදී ගියත් එහි සිටි මාක් වුඞ් වෙතින් උඩපන්දුව ගිළිහී ගියේය.

--------------------------------------------------------------------------------------------------------------

වෝක්ස්  - ආචර් පාලනය අතට ගනිති


ඕවර 3 යි - කොදෙව් පිල 04/1

සීමිත ඕවර තරග වලදී ලෝකයේ භයානකම ආරම්භක පිතිකරුවා යයි අවිවාදයෙන් හැඳින්විය හැකි ක්‍රිස් ගේල් පිටියේ සිටි නමුත් පළමු ඕවර තුනේදීම මනා පාලනයකින් යුතුව පන්දු යැවූ ක්‍රිස් වෝක්ස් සහ ජොෆ්රා ආචර් දෙදෙනා කොවේ ලකුණු පුවරුව පන්දු 18 කදී ලකුණු 4 කට සීමාකළහ. ඒ අතරවාරයේදී යෝකර් පන්දුවක් යවමින් එවින් ලුවිස්ගේ ඉනිම නිමා කිරීමටද ක්‍රිස් වෝක්ස් සමත් වූයේය. 

----------------------------------------------------------------------------------------------------------------

එංගලන්තය පන්දු රැකීමට තීරණය කරයි

ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සදම්ටන්හිදී අද (14 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

බංග්ලාදේශය සමගින් පැවැති තරගයට ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායමම අද තරගයට සහභාගීවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වෙනස්කම් 3 ක් සිදුකරමින් එවින් ලෙවිස්, ඇන්ඩි්‍ර රසල් සහ ශැනන් ගේබ්‍රියෙල් කණ්ඩායමට එක්වුහ. දකුණු අප්‍රිකාව සමගින් පැවැති තරගයට ක්‍රීඩාකළ ඈෂ්ලී නර්ස්, ඩැරන් බ්‍රාවෝ සහ කෙමාර් රෝච්ට අද තරගයේදී සිය ස්ථාන අහිමිවූහ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම
ක්‍රිස් ගේල්, එවින් ලෙවිස්, ෂායි හෝප්, නිකලස් පූරන්, ශිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර් (නායක), ඇන්ඩි්‍ර රසල්, කාලෝස් බ්‍රැත්වේට්, ශැනන් ගේබ්‍රියෙල්, ශෙල්ඩන් කොට්ට්‍රේල්, ඔෂේන් තෝමස්.

එංගලන්ත කණ්ඩායම
ජේසන් රෝයී, ජොනී බෙයාර්ස්ටෝ, ජෝ රූට්, ඔයින් මෝගන් (නායක), බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ක්‍රීස් වෝක්ස්, අදිල් රෂීඞ්, ලයම් ප්ලන්කට්, ජොෆ්රා ආචර්, මාක් වුඞ්.


අදහස් (0)

එංගලන්තයට කඩුලු 8ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.