Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විරාට් කෝලි ප්‍රමුඛ ඉන්දීය පිතිකරුවන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මුම්බායිහි වන්කඩේ  ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක ජයක් වාර්තා කීරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත් විය.

එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. එහිදී දීපක් චාහර්, මොහොමඩ් සාමි, බුවනේෂ්වර් කුමාර් සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

වේගවත් පිතිහරඹයක නිතර වූ නායක කිරන් පොලාඩ් පන්දු 39 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග 68 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය. ලකුණු 17 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී කොදෙව් ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පොලාඞ් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 240 ක් රැස්කළ අතර ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රෝහිත් ශර්මා (71) සහ ලොකේෂ් රාහුල් (91) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 70 කදී ලකුණු 135 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූහ.

පන්දු 34 කට මුහුණදුන් ශර්මා හයේ පහර 5 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 56 කට මුහුණදුන් රාහුල්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ නායක විරාට් කෝලි පන්දු 29 කදී නොදැවී ලකුණු 70 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

ඉන්දීය පිල - ඕවර 20 කදී කඩුලු 3 කට 240
(රෝහිත් ශර්මා 71, ලොකේෂ් රාහුල් 91, විරාට් කෝලි නොදැවී 70)

කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 173
(ශිම්රන් හැට්මෙයර් 41, කිරන් පොලාඩ් 68, දීපක් චාහර් 20/2, මොහොමඩ් සාමි 25/2, බුවනේෂ්වර් කුමාර් 41/2, කුල්දීප් යාදව් 45/2)

-036


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ 2-1 කින් කොදෙව්වන් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.