Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඇමති හරීන් වේවැල අතට ගනී

ඇමති හරීන් වේවැල අතට ගනී

යොහාන් භාසුර - 2019 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතියට සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නීති රීතිවලට අනුව ඔට්ටු තැබීමට සම්බන්ධ පුද්ගලයකුයට හෝ පවුලේ සාමාජිකයන් ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයකුට හෝ ක්‍රීඩා සංගම්වල තනතුරු දැරිය නොහැකි වන සේ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (22) පස්වරුවේ පැවසීය.

කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියේ සංශෝධනයක් කරන්න අද අපි ගැසට් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කරලා තියෙන්නේ, එය අයි.සී.සී. එකෙත් පැහැදිළිව කියලා තියෙනවා කිසිම බුකි ගණුදෙනුවකට එහෙම නැත්නම් බෙටින්වල ඉන්න කෙනෙකුට ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ වෙන්න හැකියාවක් නෑ. ඒක අපේ නීතියට අනුව ගැසට් එකක් ඉදිරිපත් කළා”

“පවුලේ කිසිම සාමාජිකයකු හෝ සම්බන්ධ නම් ඔහුට කිසිම නිලයක් දරන්න බෑ කියලා”

“ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේදී ඉතාමත් කැත විදියට බහින් බස් වීම්. ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යංශයට පරුෂ වචනයෙන් කථා කිරීම් ආදි වශයෙන් ලොකු දේවල් වෙලා තියෙනවා. මට කවුරුත් බැන්නට මට ප්‍රශ්නයක් නෑ. හරි දේ කරනවා නම් බිය වියයුතු නෑ”

“ක්‍රිකට් ආයතන විධායක කමිටුවේදී ගන්නා තනි තීරණ සම්බන්ධයෙන් අපිට යම් තීරණයක් ගන්න වෙයි. එතන යම් පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවෙනවාද, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට, ක්‍රීඩා අමාත්‍යවරයාට විධායක කමිටුවේ පහත් විදියට තිත්ත කුණුහරපෙන් කථා කරනවද, යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරනවා”

“මට කොච්චර බැන්නත් කමක් නෑ. නමුත් ඒ තනතුරට ගෞරවයක් තියෙන්න ඕනේ. තනි පුද්ගල සමාගම් මේවා කරගෙන යනවා. ඒ පිළිබඳව තීරණ ගත යුතුයි”

මෙම ගැසට් පත්‍රය තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීමට වැට බැඳීම සඳහා ගෙන ආ එකක් ද යන ප්‍රශ්නයට ඇමතිවරයා මෙසේ පිළිතුරු සැපයීය.

“තිලංග සුමතිපාල මහතා විධායක කමිටුවේ කටයුතු කිරීම පිළිබඳව අපි මුලින්ම අයි.සී.සී. එකෙන් ඇහුවේ එතුමාට මේ තනතුරේ සිටීමේ හැකියාව තියෙනවද කියලා. අයි.සී.සී. එකෙන් කිව්වේ එතුමාට අයි.සී.සී. එකේ කිසිම තනතුරක් දරන්න බෑ කියලා. අයි.සී.සී. එකේ ඉන්න බැරිනම් ලංකාවේ එකේ ඉන්නත් බෑ. හැබැයි ලංකාවේ නීති තුළ තමයි අපි ගැසට් කළේ”

“මම කාගෙන්වත් පළි ගන්න පුද්ගලයෙක් නෙවෙයි. මට හතුරො නෑ. මම කාටවත් වෛර කරනවයි කියලා මිනිහෙක් නෑ. මම ආපු ගමන් තිලංග සුමතිපාල මැතිතුමාව බෙල්ලෙන් අල්ලලා එළියට විසිකරලා දැම්මා නම් මම වෛයිරක්කාරයෙක් වෙනවා”

“කිසියම් කෙනෙක් මොනයම් හේතුවකින් හෝ දැන් ක්‍රිකට් ආයතනයේ සභාපති වෙලා ඉන්නවා නම්, ඒ සභාපති කළේ මමයි කියලා, යම් කෙනෙක් ඒ මනුස්සෙයව හැන්දක් වගේ පාවිච්චි කරනවා නම් ඒකත් ක්‍රිකට් පරිපාලනය පිළිබඳව අර්බුදයක්. මේක පිරිසිදු කිරීම මගේ යුතුකම”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පරිපාලනය පිළිබඳ ගැටලු රැසක් පිළිබඳව අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.
“ක්‍රීඩා ඇමතිවරු ක්‍රිකට්වලට අත ගහන්නේ ඇයි කියන ප්‍රශ්නේ බොහෝ දෙනකුට තියෙනවා. එසේ නොවෙන්න නම් ක්‍රීඩා ඇමතිවරයකු නොසිටිය යුතුය. ක්‍රිකට් ආයතන පිටු පස සිටින නොයෙකුත් තනි පුද්ගල සමාගම් මේක විශාල ප්‍රශ්නයක් කරලා තියෙනවා. මගේ යුතුකම වෙන්නෙ ක්‍රීඩා පනතට අනුවත් ක්‍රීඩකයෙක්ගේ නැත්නම් ක්‍රීඩා සංගමයක යම්කිසි පැමිණිල්ලක් ලැබුණොත් ඒ චෝදනාව සොයා බලන්න”
“එහෙම නැත්තනම් ක්‍රීඩාවට ඇඟිලි ගහනවා කියන්නේ මට ඕන ක්‍රීඩකයො ගස්සනවා නම්, මට ඕන පුහුණුකරු මම ගෙනල්ලා තියෙනවා නම් අන්න ඒවා තමයි ක්‍රීඩාවට ඇඟිලි ගැසීම් කියන්නේ”
“මම ක්‍රීඩාවට ඇඟිලි ගහනවා නම් මූලිකව කරන්න ඕනේ දේශපාලනය, පක්‍ෂ පාට භේද බලලා පත්ව සිටින මිනිස්සු ඉවත් කරලා. දේශපාලන පදනමක් තියෙන මිනිස්සුව දැම්ම නම් අන්න එවිට ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවට ඇඟිලි ගහලා තියෙනවා”

“විශාල වශයෙන් චෝදනා එන දෙයක් තමයි රූපවාහිනී විකාශන අයිතිය පිළිබඳව ඇති වෙලා තියෙන අර්බුදය. අයි.සී.සී. එකේ සභාපතිවරයා මනෝහරන් මහතාව මම නග්පූර්හිදී හමුවුණා. මම එතුමත් එක්ක කළ සාකච්ඡා කරලා එතුමාගේත් නිර්දේශය අනුව අයි.සී.සී. එකේ සාමාජිකයෙක්ගෙන් සමන්විත සිව්දෙනකුගේ යුත් සම්පූර්ණ විනිවිදභාවය තිබෙන විවෘත කමිටුවක් පත්කරන්න කටයුතු කළා”

“මට කරන්න පුළුවන් ක්‍රීඩා නීතියට අනුව නොයෙකුත් ඔප්ෂවේෂන් දෙන එක එසේ නැත්නම් ඩිරෙක්ෂන් දෙන එකයි. නැතුව වෙනස්වීම් කරන එක නොවෙයි”

“අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාත්, ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයත්, අයි.සී.සී. නියෝජිතයත්, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාත් මේ කමිටුවට පත්කරලා තියෙනවා”

“පරිපාලන වශයෙන් ඈෂ්ලිට පුළුවන්, රජයේ වගකීම ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට පුළුවන්”
“පැහැදිළිව සමහර තීන්දු තීරණ ගන්න ඕනේ. ඒවා අමිහිරියි, නීරසයි. මම පුහුණුකරු සම්බන්ධයෙන් ගත්තේ තීරණයක් නොවෙයි. මම කළේ ඉල්ලීමක්. මම කිව්වේ කරුණාකරලා එතුමාත් සමඟ කථා කරලා රීනෙගෝෂියට් කරන්න කියලා”

“ක්‍රීඩකයෝ ඇතුළුව ක්‍රීඩාවට සම්බන්ධ අයගේ ඉල්ලීම අනුව තමයි මම එහෙම කළේ”
“ක්‍රිකට් ආයතනය පසුගිය කාළයේ තවත් විශාල වරදක් කරලා තිබුණා සමහර අයගේ කොන්ත්‍රාත් දීර්ඝ කළේ නෑ. පියල් විජේතුංග, ලංකා ද සිල්වා වැනි පුහුණුකරුවන් කීපදෙනකුගේ ඉන්නවා. එක පුහුණුකරුවකුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කරන්න යනවා සෙසු සියලු දෙනාගේම දීර්ඝ කරන්නෙ නෑ”

“එතුමන්ලට ඕන විදියට සමාගමක් විදියට ඒක දුවනවා නම් ලංකාවේ ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන් අසාධාරණයක් වෙනවා නම් එතනදි ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළේ නැත්නම් එතනදි මම හරිද කියලා තීරණය කරන්න වෙනවා”

“මට මෙතනදී හැමෝම සතුටු කරන්න බෑ. කථාවක් තියෙනවා ඉංග්‍රිසියේ ‘ඉෆ් යූ වොන්ටු ද සැටිස්ෆයු එව්රිබොඩි, යූ ෂුඞ් බී සෙලින් අයිස් ක්‍රීම්’ කියලා. එහෙනම් මම අයිස් ක්‍රීම් වෙළෙන්දෙක් වෙන්න ඕනෙ හැමෝම සතුටු කරන්න නම්. අපේ මිනිස්සු අයිස් ක්‍රීම් එක කාල කියයි මේකෙ සීනි වැඩියි කියලා”
“මම ලිපියකින් යැවුවා කොන්ත්‍රාත් අවසන් හැමෝගෙම තනතුරු ඇඞ්වටයිස් කරන්න. එයට අවශ්‍ය හරි විදියකට කරන්න කියලා. මම හිතනවා මේක මාෆියාවක් විය යුතු නෑ”

“ක්‍රිකට් ව්‍යාවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මම මේ දෙවල් කරන විට මට විශාල තර්ජන පිට තර්ජන එනවා. නමුත් මම මේ කටයුත්ත සාර්ථකව කරගෙන යනවා” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
   
 

 


අදහස් (0)

ඇමති හරීන් වේවැල අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.