Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටැලියන්ස් පිලේ අපරාජිත වාර්තාව කිංග්ස් ක්‍රීඩකයෝ බිඳ දමති

ස්ටැලියන්ස් පිලේ අපරාජිත වාර්තාව කිංග්ස් ක්‍රීඩකයෝ බිඳ දමති

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දිනේෂ් චන්දිමාල්ගේ (නොදැවී 68) පිතිහරඹය හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගයේදී යාපනය ස්ටැලියන්ස් පිලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ කිංග්ස් පිල අද (4 වැනිදා) සමත්විය. ඒ අනුව යාපනය ස්ටැලියන්ස් පිලේ අපරාජිත වාර්තාව බිඳවැටුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කිංග්ස් පිල ඕවර 19.2 කදී සිය ඉලක්කය පසුකර යෑමට සමත්විය. සාර්ථක ආරම්භයක් ලබාගත් දිනේෂ් චන්දිමාල් පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් රැස්කරමින් කොළඹ කිංග්ස් පිල ජයග්‍රහණ කරා රැගෙන ගියේය.

ඕවර 15 ක් අවසන් වනවිට යාපනය ස්ටැලියන්ස් පිල ඉදිරියෙන් සිටියද 16 වැනි ඕවරය යැවූ බිනුර ප්‍රනාන්දුගෙන් ලකුණු 23 ක් උදුරාගත් ඕන්ඩ්‍රි රසල් සහ දිනේෂ් චන්දිමාල් කොළඹ කිංග්ස් පිලට ඉදිරියට ගෙන ඒමට සමත්වූහ.

ආරම්භයේදී ලකුණු රැස්කිරීම තරමක් අපහසු වුවද පසුව වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවූ ඕන්ඩි්‍ර රසල් පන්දු 20 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් රැස් කිරීමට සමත්විය. ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබාගත්තද ඊට පන්දු 24 ක් වැයවිය.

සිය ඕවර 4 ලකුණු 23 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් වනිඳු හසරංග සාර්ථක පන්දු යැවීමක නිරත විය.

පළමුව පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 148 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ වනිඳු හසරංග පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 සමගින් ලකුණු 41 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 87 කට කඩුලු 7 ක් බිඳවැටි තිබියදී බිනුර පෙරේරා සමගින් අටවැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 27 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වනිඳු හසරංග 9 වැනි කඩුල්ල සඳහා කයිල් ඇබට් සමගින් පන්දු 10 කදී තවත් ලකුණු 28 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 26 ක් රැස්කළ අතර මිනෝද් භානුක පන්දු 24 කදී ලකුණු 21 ක් ලබාගත්තේය. මෙවර තරගාවලියේ මංගල තරගයට එක්වූ ජොන්සන් චාල්ස් ලකුණු 7 කට දැවීයන විට ශොයිබ් මලික්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 8 ක් පමණි. පන්දු 8 කට පමණක් මුහුණදුන් තිසර පෙරේරාට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 18 කි.


යාපනය ස්ටැලියන්ස් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 148
(අවිෂ්ක ප්‍රනාන්දු 26, මිනෝද් භානුක 21, වනිඳු හසරංග 41, කෙයිස් අහ්මඞ් 24/3, දුෂ්මන්ත චමීර 27/2)

කොළඹ කිංග්ස් - ඕවර 19.2 කදී කඩුලු 4 ක් දැවී 151
(දිනේෂ් චන්දිමාල් නොදැවී 68, ඇන්ජලෝ මැතිව්ස් 22, ඔන්ඩ්‍රි රසල් 32, වනිඳු හසරංග 23/2)

 

 


අදහස් (0)

ස්ටැලියන්ස් පිලේ අපරාජිත වාර්තාව කිංග්ස් ක්‍රීඩකයෝ බිඳ දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.