Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සමාන්ගේ ශතකය අපතේ යයි

සමාන්ගේ ශතකය අපතේ යයි

editorial - 2021 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හයේ පහර 10 ක් සහ හතරේ පහර 18 ක් සමග පන්දු 155 කදී වේගවත් ලකුණු 193 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ෆකාර් සමාන් සමත් වුවද, ඔහුගේ සහයට කිසිවකු නොසිටීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු 17 ක පරාජයක් ලැබීය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 342 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 324 ක් පමණි. එහිදී නායක බාබර් අසාම් (31) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 52 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ෆකාර් සමාන්, හයවැනි කඩුල්ල වෙනුවෙන් අසීෆ් අලී (19) සමග එක්ව පන්දු 56 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

කෙසේ වුවත් පිතිකරුවන් හය දෙනකුම ලකුණු 15 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් දැවී යෑමත්, 49 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ෆකාර් දුවද්දී දැවී යෑමකට හසුවීමත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිළිහී ගියේය. ඇන්රික් නොයේ කඩුලු 3 ක්ද, ඇන්ඩිල් පෙලුක්වායෝ කඩුලු 2 ක්ද බිඳහෙළමින් පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 341 ක් ලබාගත්තේය. එහිදී ක්වින්ටින් ඩි’ කොක් (80), ටෙම්බා බවුමා (92), වැන්ඩර් ඩසන් (60) සහ ඩේවිඩ් මිලර් (නොදැවී 50) අර්ධ ශතක ලබාගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඩි’කොක් සමග එක්ව පන්දු 124 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බවුමා, තෙවැනි කඩුල්ල වෙනුවෙන් වැන්ඩර් ඩසන් සමග එක්ව පන්දු 69 කදී ලකුණු 101 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 86 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සමන්විත වූ අතර පන්දු 102 කදී වාර්තා වූ බවුමාගේ ඉනිමට හතරේ පහර 9 ක් ඇතුළත් විය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩුසේන් පන්දු 37 කදී ලබාගත් අර්ධ ශතකය පහර 4 කින් සහ හයේ පහර 6 කින් සැරසූ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 27 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් පන්දු 27 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 6 කට 341
(ක්වින්ටින් ඩි’කොක් 80, ඒඩ්න් මාක්‍රම් 39, ටෙම්බා බවුමා, 92, වැන්ඩර් ඩුසේන් 60, ඩේවිඩ් මිලර් නොදැවී 50, හාරිස් රවුෆ් 54/3)

පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 9 කට 324
(ෆකාර් සමාන් 193, බාබර් අසාම් 31, අසීෆ් අලී 19, ඇන්රික් නොයේ 63/3, ඇන්ඩිල් පෙලුක්වායෝ 76/2)

-036

 


අදහස් (0)

සමාන්ගේ ශතකය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.