Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තු

ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තු

editorial - 2019 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)

ප්‍රමුඛතම ටෙස්ට් ක්‍රීඩකයන්ගේ වසර ගණනාවක සිහිනයක්ව තිබූ ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භ වී තිබේ. එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලියෙන් ආරම්භ වූ ටෙස්ට් ලෝක ශූරතාවලියට ඇතුළත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලිය අද (14 වැනිදා) ගාල්ලේදී ඇරඹෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලිය 3-0 ක් ලෙසින් එංගලන්තය හමුවේ පරාජය වූ නමුත් ලෝක කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගත්තේ වාර්තාවක්ද පිහිටුවමිනි. ඒ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමුවැනි ආසියාතික කණ්ඩායම ලෙසිනි.

බංග්ලාදේශයට එරෙහිව පසුගියදා පැවැති එක්දින තරගාවලියත් 3-0 ක් ලෙසින් ජයගත් දිමුත් කරුණාරත්න ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සිටින්නේ නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියත් ජයගනිමින් පසුගිය වසරක පමණ කාලයේදී තමන්ගෙන් ගිළිහී ගිය කීර්තිය නැවතත් දිනාගැනීමේ අදිටනෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරගාවලිය වූ දකුණු අප්‍රිකානු සංචාරයේ නොසිටි පිතිකරුවන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් සංචිතයට එක්ව සිටින බැවින් කණ්ඩායමේ වෙනස්කම් අපේක්‍ෂා කළ හැකිය.

“කණ්ඩායම ගැන තීන්දුවක් ගන්න ඉස්සරවෙලා, තණතීරුව දිහා බලන්න ඕනේ....ඒත් අද දවස පුරාම වැස්ස නිසා ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ...”

“අපට විකල්ප කිහිපයක්ම තියෙනවා...එතැනදි කිසියම් සංයුතියක් එක්ක යනවා කියලා අපට හිතුණොත් අපි ඒක තෝරා ගන්නවා” යයි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ සවස ගාල්ලේදී පැවසීය. දිමුත් කී ආකාරයට අද තරගයේදී කඩුලු රැකීමේ අත් ආවරණ නිරෝෂන් දික්වැල්ලට හිමිවීමට ඉඩ ඇතත් දිනේෂ් චන්දිමාල්ද ඒ සඳහා සූදානමින් සිටී.

පසුගිය මාස 12 ක කාලයෙන් කොටසකදී අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයෙන් පසුව යන්තම් හිස ඔසවමින් සිටීමේ රහස ක්‍රීඩකයන් තමන් කෙරේ විශ්වාසනීයත්වය ඇතිකරගනිමින් සිටීම බව දිමුත් කරුණාරත්න කියයි.

“මම උත්සාහ කළේ ක්‍රීඩකයන් තුළ විශ්වාසනීයත්වය ඇතිකිරීමටයි. මම ක්‍රීඩකයන්ට කිව්වේ බය නැතිව ක්‍රීඩා කරන්න කියලයි..දැන් ඔවුන් විශ්වාසය ඇතිව ඉදිරියට යනවා” යයිද කරුණාරත්න පැවසීය.

කෙසේ වෙතත් පසුගිය තරගාවලි කිහිපයකදී තමන් අතින් වූ වැරදි කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට වටහාගෙන තිබේ. ඒවායින් දෙකක් වන්නේ ප්‍රතිවාදීන්ට ලකුණු ලබාගැනීමට වැඩි අවසරයක් දීමත්, පන්දුවට පහර දීමේදී ඕනෑවට වඩා ආක්‍රමණශීලී වීමත්ය. එහෙත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකත්වය ඇත්තේ පවතින තත්ත්නයට අනුරූපව වෙනස්වීම මතය.

පිට දඟ පන්දු යැවීමේ හැකියාව ඇති ධනංජය ද සිල්වා කණ්ඩායමේ සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතී. ප්‍රධාන දඟ පන්දු  යවන්නා වශයෙන් අකිල ධනංජය එක්වන අතර වමතින් පා දඟ පන්දු යවන්නා වශයෙන් ලසිත් ඇඹුල්දෙණිය කණ්ඩායමට එක්වන බව දිමුත් කරුණාරත්න පැවසීය.

කෙසේ වෙතත් තේරීම් කමිටුව සතු බරපතළම හිසරදය වන්නේ වේග පන්දු යවන්නන් දෙදෙනා කවුරුන්ද යන්න තෝරා ගැනීමයි. සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර තිදෙනාගෙන් අවස්ථාව ඇත්තේ දෙදෙනකුට පමණි. එයද පවතින වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් මිස වේග පන්දු යවන්නන්ගෙන් ගාල්ලේදී වැඩක් ඇති නිසාම නොවේ. ගාල්ලේදී ශ්‍රී ලංකාව ජයගත් ටෙස්ට් තරග වලදී වේග පන්දු යවන්නන්ගේ දායකත්වය ඕවර 15 කට ත් වඩා අඩුවෙනි.

පසුගිය වසර අගදී ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමට එංගලන්තය සමත් වූයේ දඟ පන්දු යවන්නන්ගේ පිහිටෙනි. එහිදී අදිල් රෂීඞ් (12), මොයින් අලී (18) සහ ජැක් ලීච් (18) තිදෙනා එක්ව තරග 3 කින් සමන්විත තරගාවලියේදී බිඳ වැටුණු කඩුලු 60 න් 48 ක් බෙදාහදා ගත්හ. ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය හොඳින් විශ්ලේෂණය කළ නවසීලන්ත පුහුණුකරුවා මෙවර ශ්‍රී ලංකා සංචාරය සඳහා දඟ පන්දු යවන්නෝ සිව් දෙනකුම කැඳවාගෙනැවිත් සිටී.

විල් සමර්විල් පිට දඟ පන්දු යවන්නකු වන අතර අජාස් පතෙල් සහ මිචෙල් සෑන්ට්නර් වමතින් දඟ පන්දු යවන්නෝ වෙති. මිචෙල් සෑන්ට්නර් සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ 2017 දී වුවත් ලෝක කුසලාන අවසන් මහ තරගයේදීත් එංගලන්තය හමුවේ තීරණාත්මක පන්දු යැවීමක නිරත වූ පන්දු යවන්නාය.

නවසීලන්ත කණ්ඩායම පසුගිය වසරේදී පාකිස්තානය 2-1 කින් පරාජය කළේ විල් සමර්විල් සහ අජාස් පතෙල් නම් දඟ පන්දුයවන්නන් දෙදෙනාගේ උපකාරයෙනි. පා දඟ පන්දු යවන්නා වන ටොඞ් ඇස්ට්ල් වසර 7 කට ඉහත කොළඹදී පැවැති ටෙස්ට් තරගයකින් ටෙස්ට් හිස්වැස්ම දිනාගත් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙකි.

“ශ්‍රී ලංකාවේ තණතීරුවල තත්ත්වය අනුව දඟ පන්දුයවන්නන් තුන් දෙනෙක් එක්ක තරගයට යාමත් අප හමුවේ ඇති එක සැලැස්මක් තමා....මා හිතන්නේ මේ කණ්ඩායමේ ඉන්න දඟ පන්දු යවන්නන් අතුරින් අපට ඒ සංයුතිය සොයාගන්න පුළුවන්” යයි නවසීලන්ත සංචිතය තෝරාගත් අවස්ථාවේදී පුහුණුකරු ගැරී ස්ටෙඞ් මහතා පවසා තිබිණ.

කෙසේ වෙතත් අද ඇරඹෙන තරගාවලිය සාම්ප්‍රදායික ටෙස්ට් තරගාවලියකට වඩා වෙනස් වන්නේ එය ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගයක් වන බැවිනි. මෙවන් තරගාවලියකදී ක්‍රීඩකයන්ට දැනෙන පීඩනයද තරමක් වෙනස් විය හැකිය. ඒ ගැන නවසීලන්ත නායකයා දරන්නේ මෙවැනි අදහසකි.

“හැම කණ්ඩායමක්ම කැමතියි ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කරන්න. ඒත් මම කියන්න කැමතියි, මොකද මම දන්න විදිහට...මට දැනෙන විදිහට....හැම කණ්ඩායමක්ම බලන්නේ ඒ වෙලාවේ තමන් හමුවේ තියෙන තරගය ඉවර කරන්නයි” යයි විලියම්සන් කීවේය.

මෙවර තරගාවලියේදී නවසීලන්තයට ඇත්තේ තරමක් වෙනස් අභියෝගයකි. එය අභියෝගයකට වඩා නවසීලන්ත ක්‍රීඩකයන්ගේ දිරිය වඩන්නක් වී තිබේ. එනම් මෙම තරගාවලිය 2-0 කින් ජයගැනීමට නවසීලන්තයට හැකි වුවහොත් අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ වැජඹෙන ඉන්දියාව දෙවැනි තැනට ඇද දමා අංක 1 ස්ථානය අත්පත් කරගැනීමට නවසීලන්තයට හැකි වීමයි. අනෙක් කාරණාව නම් නවසීලන්ත කණ්ඩායම 1984 න් මෙපිට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගෙන නැති වීමයි.

නවසීලන්ත පිලේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක යෙදෙන්නේ නම් කේන් විලියම්සන්ගේ වත්මන් කණ්ඩායමත් 1984 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජෙෆ් හොවාර්ත්ගේ කණ්ඩායමත් අතර ලොකු වෙනසක් නැත.


ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර


නවසීලන්ත සංචිතය
කේන් විලියම්ස් (නායක), ටොඞ් ඇස්ට්ල්, ටොම් බ්ලන්ඬේල්, ටේ‍රන්ට් බෝල්ට්, කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්, ටොම් ලෙතම්, හෙන්රි නිකොල්ස්, අජාස් පතෙල්, ජීට් රාවල්, විල් සොමර්විල්, මිචෙල් සෑන්ට්නර්. ටිම් සවුති, රොස් ටේලර්, නීල් වැග්නර් සහ බී.ජේ. වොට්ලිං


අදහස් (0)

ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.