Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝක්ස් - බට්ලර් එක්ව එංගලන්තය දිනවති

වෝක්ස් - බට්ලර් එක්ව එංගලන්තය දිනවති

editorial - 2020 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිස් වෝක්ස් (නොදැවි 84) සහ ජොස් බට්ලර් (75) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 139 ක අනගි සම්බන්ධතාවය හේතුවෙන් පාකිස්තානයට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වූ අතර අවසන් ටෙස්ට් තරගාවලි පහේදීම සිදුවූ පරිදි පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීම නවතා ගැනීමටද ඔවුන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 277 ක් හඹාගිය එංගලන්ත ක්‍රීඩකයෝ තරගය නිමා වීම සඳහා තවත් දිනයක් ඉතිරිව තිබියදීම කඩුලු 7 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ක්‍රිස් වෝක්ස් හතරේ පහර 10 කින් සිය ඉනිම සැරසූ අතර බට්ලර්ගේ 17 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පාකිස්තානය වෙනුවෙන් පළමු කඩුල්ල දවාගත් මොහොමඞ් අබ්බාස්, එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු රොරි බර්න්ස් (10) පිටියෙන් ඉවත් කළේය. එතැන් සිට ජෝ රූට් සහ ඩොමිනික් සිබ්ලි දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නමුත් යසීර් ශාගේ පන්දුවක් හමුවේ අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලි ලකුණු 36 කට දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය.

එංගලන්ත ලකුණු පුවරුවට තවත් ලකුණු 10 ක් එක්වන වට නසීම් ෂාගේ පන්දුවක් හමුවේ බාබර් අසාම් අතට උඩ පන්දුවක් දෙමින් ජෝ රූට් ලකුණු 42 කට දැවී ගියේ තෙවැනි කඩුල්ල ලෙසනි. ඉන් අනතුරුව පිටියට පිවිසි බෙන් ස්ටෝක්ස්ට (9) සහ ඔලි පෝප්ට (7) වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට යසීර් ෂා සහ ශහීන් අෆ්රිඩි ඉඩක් ලබා නොදුන්හ. වරෙක කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලෙසින් සටහන් වූ එංගලන්ත ලකුණු පුවරුවේ ඕවර 8.5 කට පසුව, කඩුලු 5 ට 117 ක් ලෙසින් සටහන් විය. ඒ වන විට පාකිස්තානුවෝ සම්පූර්ණයෙන්ම පාහේ තරගය තමන්වෙත ඇදගෙන සිටියහ.

මෙම අවස්ථාවේදීතුන් ඉරියව් ක්‍රීඩක වෝක්ස් සහ ජොස් බට්ලර් සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමට ජයග්‍රහණයේ දොරටු විවර කර දුන්නේය. මුලු ලකුණු සංඛ්‍යාව 256 ක් වන විට එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බට්ලර්ද දැවී ගිය නමුත් ස්ටුවර්ට් බ්‍රෝඞ් (7) සහ ඩොමිනික් බෙස් (නොදැවී 0) සමග එක්ව වෝක්ස් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඕල්ඞ්ට්‍රැෆර්ඞ්හි පැවති ටෙස්ට් තරගයක සිව්වන ඉනිමේදී ජයග්‍රහණය කළ කණ්ඩායමක් ලකුණු 200 කට වඩා ඉහළ ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් ඇත්තේ දෙවරක් පමණි. එංගලන්තය 2008 වසරේදී නවසීලන්තයට එරෙහිව කඩුලු 4 ක් දැවී ලකුණු 294 ක් ලබාගත් අතර සහ 2004 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් රැස් කළේය.

පාකිස්තානය - පළමු ඉනිම 326
එංගලන්තය - පළමු ඉනිම 219
පාකිස්තානය - දෙවැනි ඉනිම 169

(අබීඞ් අලි 20, අසාර් අලි 18, අසාඞ් ෂෆීක් 29, මොහොමඞ් රිස්වාන් 27, ශදාබ් ඛාන් 15, යසීර් ෂා 33, ස්ටුවර්ට් බ්‍රෝඞ් 37/3, ක්‍රිස් වෝක්ස් 11/2, බෙන් ස්ටෝක්ස් 11/2)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 7 ක් දැවී 277
(ඩොමිනික් සිබ්ලි 36, ජෝ රූට් 42, ජොස් බට්ලර් 75, ක්‍රිස් වෝක්ස් නොදැවී 84, යසීර් ෂා 99/4)

-036


අදහස් (0)

වෝක්ස් - බට්ලර් එක්ව එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.