Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනාඩි 8 ක උමතුව

විනාඩි 8 ක උමතුව

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන්ගේ හමුදාවකින් සමන්විතව සිටි 1985 - 1997 සමයේ අංක 3 පිතිකරුවා වශයෙන් ස්ථාවරව සිටියේ අසංක ගුරුසිංහයි. අසංක ගුරුසිංහට ටෙස්ට් වරම් හිමිවීම පසුපස ඇත්තේ අපූරු කතාවකි.

1985 වන විටත් ටෙස්ට් ශතක දෙකක (ලෝඞ්ස්හිදී සහ කොළඹදී) හිමිකරුවකුව සිටි ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින්නා වූ අමල් සිල්වා හුක් පහරින් දැවී යාම පුරුද්දක් කරගෙන තිබිණ. පාකිස්තානු සංචාරයේදී මෙම හුක් පහරකින් අත්මිදෙන්න’යි කළ අවවාදය නොතැකීම හේතුවෙන් තුන්වැනි තරගයේදී අමල් සිල්වාට කඩුලු රැකීමේ අත් ආවරණ අහිමි විය. අසංක ගුරුසිංහට කඩුල්ල පිටුපසට කැඳවීමක් ලැබිණ.
 
එහෙත් එදා තරම් කෙළින් තීරණයක් ගැනීමේ නිලධාරීන් අද වන විට නොමැති කමින් ක්‍රීඩකයෝ තම තමන්ට හිතු මනාපේ ක්‍රීඩා කරති. එපමණක් නොව, ඉඳහිට ලබන සාර්ථකත්වයකට පසුව වහසිබස්ද දොඩති.
තමන් විසින්ම, තමන් පිළිබඳ අධිතස්සේරුවකට ලක්කරගෙන සිටින පිතිකරුවකුට කරගත හැකි හානිය මේ යයි ගාල්ලේදී කදිමට පෙන්වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාම නිකරුණේ තමන්ගේ කඩුලු වීසි කර දැමුවේ කණ්ඩායම පිළිබඳ අබමල් රේණුවක හැඟීමක් නැති පිතිකරුවන් ලෙසිනි.
 
මුල් ඉනිමේදී ලකුණු 53 ක් ලබාගත් මෙන්ඩිස් අර්ධ ශතකය ලබාගැනීමෙන් පසුව ගැසූ පහර මෙන්ම දෙවැනි ඉනිමේදී ගැසූ ස්වීප් පහරද වගකීමක් ඇති පිතිකරුවකුගෙන් කිසිදා අපේක්‍ෂා කළ නොහැක්කකි. කුසල් පෙරේරා මුල් ඉනිමේදී ගුවනට පැන ගැසූ පහර මෙන්ම දෙවැනි ඉනිමේදී දැවී ගිය ආකාරයද විමතිය දනවන්නකි.

පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ සවස කීවේ අද දිනය වඩාත් අභියෝගාත්මක වන හෙයින් තණතීරුවට යන පිතිකරුවා කවුරුන් වුවද පළමුවෙන් කළ යුත්තේ අඩුම තරමේ පන්දු 30 කට වත් මුහුණ දෙමින් කඩුල්ලේ ස්ථාවර විය යුතු බවයි. තරගයෙන් පසුව දිමුත් කරුණාරත්නත් එයම කීවේය. එහෙත් කුසල්ලා දෙදෙනාටම තමන්ගේ හිතුවක්කාර පිතිහරඹය පළමු තේරීම විය.
 
ලකුණු 268 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 161 දීය. ඒ වන විටත් ජයග්‍රහණයට තවත් ලකුණු 107 ක් අවශ්‍ය වී තිබිණ. එහෙත් කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි විගසම දුම්මල වරම ගත් යකැදුරෙකු සේ ආවේශ විය.
 
මුහුණ දුන් දෙවැනි පන්දුවටම සීමාවෙන් ඉවතට පැන, මිඞ් ඕන් කලාපය හරහා හතරේ පහරක් ගැසූ කුසල් මෙන්ඩිස් තවත් පන්දු 2 කට පසුව ඉදිරියට පැන හයේ පහරක් ගැසීය......තවත් පන්දු 2 කට පසුව ස්වීප් පහරක් ගැසීමට යාමේදී මිඞ් විකට්හි සිටි ජීට් රාවල්ට උඩපන්දුවක් දුන් මෙන්ඩිස් පන්දු 6 ක් ඇතුළතදී කඩුල්ල අහිමි කරගත්තේය.

කුසල් පෙරේරා පිටියට පැමිණියේ ඉලක්කය ලකුණු 50 ක් මෑතින් තිබියදීය. පිට පිටම කඩුලු දෙක තුනක් දැවී ගියේ නම් සිදුවිය හැකි දේ හොඳින්ම දන්නා නමුත් කුසල් පෙරේරාට තිබුණේ පුදුමාකාර හදිසියකි.

මුහුණ දුන් පළමු පන්දු දෙකම කුසල් පෙරේරාගේ පිට ඉන්නට ඈතින් යද්දී එය හඹා ගොස් පහර දීමට උත්සාහ කළ නමුත් සවුතිගේ පන්දු දෙකින් එකක් වත් පිත්තේ නොවැදිණ. අනතුරුව ලකුණු 10 ක් ලබා සිටියදී ගැසූ රිවර්ස් ස්වීප් පහරක් හේතුවෙන් දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම් කරන ලද නමුත් විතීවි ක්‍රමවේදය හේතුවෙන් කුසල් පෙරේරා කඩුල්ල බේරා ගත්තේය. එහෙත් එයින් ප්‍රයෝජන ගෙන තරගය අවසන් කිරීම ඔහුගේ අභිප්‍රාය නොවීය. ජයග්‍රහණයට ලකුණු 18 ක් මෙපිටින් සිටියදී කුසල් පෙරේරාත් දැවී ගියේය.
 
මේ හදිසිය කුමටද ? මේ ප්‍රදර්ශනය කාටද ?

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ලේදී පැවැති තරගය ජයගත් බව සැබෑවකි. එම තරගයේ පළමු ඉනිමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 53 ක් ලබාගත් බවත් ඇත්තකි. මෙම පිතිකරුවන් දෙදෙනාම අති දක්‍ෂයන් යන්නද විවාදයකින් තොරය. ප්‍රශ්නය ඇත්තේ ද එතැනමය...

දිමුත් කරුණාරත්න කියන පරිදි සාර්ථකත්වයේ රහස ක්‍රීඩකයන්ට නිදහස දීමයි. එහෙත් නිදහසේ ක්‍රීඩා කරන්න යයි කීම යනු වගකීමෙන් තොරව ක්‍රීඩා කිරීම නොවේ. මෙය වරදවා වටහාගතහොත් ඉදිරියේදී ලබාගත හැකි බොහෝ ජයග්‍රහණ ගිළිහී යාමටත් ඉඩ තිබේ. මක්නිසාද යත් අවශ්‍ය පමණට වඩා නිදහස භූක්ති විඳි තරුණ ක්‍රීඩකයන් ගැන දැන් අසන්නට වත් නැති බැවිනි.

ක්‍රීඩකයන්ට නිදහස අවශ්‍ය නමුත් කිසිවකු විසින් කණ්ඩායමේ පාලනය ග්‍රහණය කරගතයුතු කාලය එළඹ තිබේ. ඔහු නායකයාද, පුහුණුකරුවාද නැතහොත් කළමණාකරුවාද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිස ප්‍රේක්ෂකයන් නොවේ.

නිදහස නැති විට වටනේය. ඇති විට අගනේය. ඕනෑවට වඩා වැඩිවූ විට වැනසේය.

ඡායාරූප : චතුර එස්. කොඩිකාර


අදහස් (2)

විනාඩි 8 ක උමතුව
  • kim Sunday, 18 August 2019 04:42 PM

    මේ කතාව වැරදියි . මම හිතන්නෙ ඒක සැලසුමක් වෙන්න පුලුවන්. මොකද අනවශ්‍යය විදියට අල්ලන්න ගියා නම් පන්දු යවන්නෝ බලවත් වෙනවා. එහෙම කරල විකට් දෙක ගියා නම් බෝඩ් එකෙත් ලකුණුත් නෑ , විකට් දිගටම යන්න ඉඩ යන්න තිබුනා පීඩනය නිසා. කුසල් දෙන්නා කළ වැඩෙන් පීඩනය නැති උනා...

    Reply 0       0

    Nadeeshan Sunday, 18 August 2019 06:37 PM

    ඒ වෙලාවේ වැස්සනම් ඔක්කොම ඉවරනේ . අහස කලු කරලා තිබ්බේ . අපි දෙයක් කියද්දි හැම පැත්තම හිතලා බලලා කියන්න ඕනේ නේද ? සිතීම ඔබ සතුයි .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.