Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක ශූරතාවලියට ජයග්‍රාහී ආරම්භයක්

ලෝක ශූරතාවලියට ජයග්‍රාහී ආරම්භයක්

editorial - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

සියලුම අනාවැකි අවාසියට කියැවෙද්දී, ලකුණු 268 ක් හඹා යාමේ අභියෝගය අභීතව බාරගත් දිමුත් කරුණාරත්නගෙන් ලැබුණේ අති විශිෂ්ට මඟ පෙන්වීමකි. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉතිහාසය නැවත ලියූ දිමුත් කරුණාරත්න සහ පිරිවර නවසීලන්තයට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජයගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කළහ.

මෙම ජයග්‍රහණයත් සමගින් නවසීලන්තයට එරෙහි තරග දෙකකින් සමන්විත තරගාවලිය පරාජය නොවන ස්ථානය අත්පත් කරගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව 6 වැනි ස්ථානයේ සිටින නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභගි වූ පළමු වැනි දිවා/රාත්‍රී ටෙස්ට් තරගය (2017 දී පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී) මෙන්ම ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු වැනි තරගයද ජයග්‍රහණය කර තිබේ. මෙම තරග දෙකේදීම දිමුත් කරුණාරත්න ශතක රැස්කළ අතර තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
 
අද දින දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ ජයග්‍රහණයට ලකුණු 22 ක් මෑතිනි. ශ්‍රී ලංකා පිල සතුව කඩුලු 7 ක් තිබූ හෙයින් කෙටි සාකච්ඡාවක නිරත වූ විනිසුරුවරු, දිවා ආහාරයට පෙරම තරගය කෙළවරක් කිරීමට අවසර දුන්හ.  ඒ අතරවාරයේදී කුසල් පෙරේරා දැවී ගිය නමුත් පිටියට පිවිසි ධනංජය ද සිල්වා සමග එක්වූ ඇන්ජලෝ මැතිව්ස්, වමත් වේග පන්දු යවන්නා වන ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් ස්ක්වෙයාර් ලෙග් කලාපයට තල්ලු කර යවමින් ජයග්‍රාහී ලකුණ ලබාගත්තේය.
 
ගාල්ල ක්‍රීඩාංගණයේ මීට පෙරදී ටෙස්ට් තරගයක් ජයගනීමට ශ්‍රී ලංකා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2014 දී පාකිස්තානු පිල හමුවේ කඩුලු 3 ක් දැවී ලබාගත් 99 කි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව පැවැති තරගය ජයගත්තේ කඩුලු 4 ක් දැවී ලකුණු 268 ක් රැස්කරමිනි.
කුසල්ලා දෙදෙනාගේ උමතුව නොවන්නට මෙම තරගයේ වාර්තාව මීට වඩා අලංකාර විය හැකිව තිබිණ.  එහෙත් තරගයෙන් පසුව දිමුත් කරුණාරත්න පැවසුවේ තමන්ට ගැසිය හැකි පහර ගහන ලෙස කුසල්ලා දෙදෙනාටම කියා තිබූ බවයි.

පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ සවස කීවේ අද දිනය වඩාත් අභියෝගාත්මක වන හෙයින් තණතීරුවට යන පිතිකරුවා කවුරුන් වුවද පළමුවෙන් කළ යුත්තේ අඩුම තරමේ පන්දු 30 කට වත් මුහුණ දෙමින් කඩුල්ලේ ස්ථාවර විය යුතු බවයි. තරගයෙන් පසුව දිමුත් කරුණාරත්නත් එයම කීවේය. එහෙත් කුසල්ලා දෙදෙනාටම තමන්ගේ හිතුවක්කාර පිතිහරඹය පළමු තේරීම විය.
 
අද පෙරවරුවේ පළමු හෝරාව ආසන්න වන තුරුම යැවුණු ඕවර 11 කින් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ලබාගත්තේ ලකුණු 41 ක් පමණි. ඊයේ ලකුණු 133 ක සම්බන්ධතාවක් ගොඩනංවා තිබුණද, අද පෙරවරුවේදීත් තණතීරුව හැසිරෙන ආකාරය ඉතාමත් හොඳින් අධ්‍යනය කළ දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න දෙදෙනා, පුහුණුකරු රුමේෂ් රත්නායක මහතාගේ උපදෙස් අකුරටම පිළිපදිමින් ලකුණු 161 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
 
හරියටම පැය 4 ක් පැවැති මෙම සම්බන්ධතාවේ වැඩි බර දිමුත් පවරාගෙන තිබිණ. එයින් ලකුණු 92 ක හිමිකරුවා වූ දිමුත් වඩාත් ශාන්තව පිත්ත හැසිරවූයේ ටෙස්ට් පිතිකරුවකුගේ සුවිශේෂී ලක්‍ෂණ මේ යයි කදිමට විදාරණය කරමිනි.

දීර්ඝ අසාර්ථක වීම් වැලකට පසුව ළහිරු තිරිමාන්න ලබාගත් ලකුණු 64 ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට පාදම සැකසූවා පමණක් නොව වමත් පිතිකරුවාගේ රැකියාව බේරා ගැනීමක්ද වූයේය. පැය 4 ක් තිස්සේ පන්දු 163 කට මුහුණ දුන් තිරිමාන්න, හතරේ පහර 4 ක් පමණක් ඊට ඇතුළත් කළ නමුත් ඔහුගේ ඉනිමේ වටිනාකම එහි ලකුණු සංඛ්‍යාවෙන් කියැවෙනවාට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක් ගන්නකි.

අජාස් පතෙල් හමුවේ ගැසූ හතරේ පහරකින් සිය ශතකය සම්පූර්ණ කළ කරුණාරත්න නොසැලී සිය අන්තය ආරක්‍ෂා කරගත්තේය. ජයග්‍රහණය ආසන්නයටම සිය කණ්ඩායම කැඳවාගෙන ආ නායකයා දැවී යන විට ශ්‍රී ලංකා පිලට අවශ්‍යව තිබුණේ ලකුණු 50 ක් පමණි. විනාඩි 311 ක ඉනිමට හතරේ පහර 6 ක් සහ හයේ පහරක් එකතු කරගත්තේය. පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 150 ඉක්මවා ගියේ කරුණාරත්න විසින් අජාස් පතෙල් හමුවේ ගැසූ හයේ පහරකිනි.

 

ඡායාරූප චතුර එස්.කොඩිකාර


අදහස් (0)

ලෝක ශූරතාවලියට ජයග්‍රාහී ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.