Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලොවක හදගැස්ම නැවතූ සුපිරි ඕවරය

ලොවක හදගැස්ම නැවතූ සුපිරි ඕවරය

editorial - 2019 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 44 ක ලෝක කුසලාන තරග ඉතිහාසයේ අතිශය තියුණුතම තරගය නිමා කළ එංගලන්තය සුපිරි ඕවරයේදී ලබාගත් වැඩිම හතරේ සහ හයේ පහර මත ලෝක කුසලානය දිනාගත්තේය. සුපිරි ඕවරයේදී එංගලන්ත ඉනිමට හතරේ පහර දෙකක් ඇතුළත්  වූ අතර නවසීලන්ත සුපිරි ඕවරයේදී ඇතුළත් වූයේ හයේ පහරක් පමණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසින් සැලකෙන එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී දෙපිලම ලකුණු 241 ක් බැගින් ලබාගැනීම නිසා සුපිරි ඕවරය ක්‍රියාත්මක කෙරිණ. එහිදීත් ලකුණු සමවීම හේතුවෙන් වැඩිම හතරේ සහ හයේ පහර මත ජයග්‍රාහකයා තීරණය කෙරිණ.

සම්පූර්ණ තරගයේදී (සුපිරි ඕවරයත් ඇතුළුව) එංගලන්ත පිතිකරුවන් විසින් හතරේ සහ හයේ පහර 26 ක් සිය ඉනිමට ඇතුළත් කරන ලද අතර නවසීලන්ත ඉනිමේදී සටහන් වූයේ හතරේ සහ හයේ පහර 17 ක් පමණි.
ටේ‍රන්ට් බෝල්ට් විසින් යවන ලද සුපරි ඕවරයේදී එංගලන්තයේ ලකුණු 15 ලබාගැනීම සටහන් වූයේ 3, 1, 4, 1, 2, සහ 4 ක් වශයෙනි.

ජොෆ්රා ආචර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී නවසීලන්තයේ ලකුණු 15 ලබාගැනීම සටහන් වූයේ 1 (සීමාවෙන් ඉවතට පන්දු යැවීම නිසා) 2, 6, 2, 2, 1, 1 ක් ලෙසිනි.

ලකුණු 242 ක ඉලක්කයක් කරා යාමේදී පීඩනයට මුහුණ දිය යුතු හොඳම ක්‍රමය ආක්‍රමණය බව කදිමට කියා දුන් බෙන් ස්ටෝක්ස් (නොදැවී 84) සහ ජොස් බට්ලර් (59) දෙදෙනා ක්‍රිකට් ලෝක කුසලාන දිනාගැනීමේ මාවත එංගලන්තයට විවර කර දුන්හ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ 1975 දී එංගලන්තයේදී වූවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිර්මාතෘවරුන් වන එංගලන්ත කණ්ඩායමක් ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි. පිට පිටම දෙවතාවක් (2015 දී සහ 2019 දී) අවසන් මහ තරගයට සුදුසුකම් ලබගත් නමුත් නවසීලන්තයට අවසන් කඩුල්ල පැනගත නොහැකි විය.

එංගලන්තයේ අභියෝගය ලකුණු 242 ක් වුවද පැවැති කාලගුණික තත්ත්වය හමුවේ එය අසීරු වන ලකුණු පෙනෙන්නට තිබිණ. ලොකී ෆර්ගසන්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හේතුවෙන් ලකුණු 81 දී එංගලන්ත නායක ඔයින් මෝගන්ද ආපසු ක්‍රීඩාගාරයට ගියේය. ඉතිරි වී තිබුණේ ඕවර 26.5 ක් පමණි. ලකුණු 161 ක් අවශ්‍යව තිබිණ.

හතරේ සහ හයේ පහර මඳකට අමතක කළ ස්ටෝක්ස් සහ බට්ලර් දෙදෙනා නවසීලන්ත පන්දු රකින්නන් අන්ද මන්ද කරමින් තනි ලකුණු සහ ද්විත්ව ලකුණු ලබාගන්නට වූහ. තනි ලකුණු නැවැත්වීමට පිටිය සැකසීමේදී ඇතිවන පරතරය සොයාගත් පිතිකරුවෝ දෙදෙනා පන්දුව හතරේ සීමාවට යැවීමට ‘පුල්’ සහ ‘ස්කූප්‘ පහර යොදා ගත්හ.

දෙදෙනා අතර සම්බන්ධතාව දිගහැරෙද්දී සූර්යාලෝකය ක්‍රීඩාංගණයට ගලා ආවේය. එයින් උපරිම ප්‍රයෝජන ගත් ස්ටෝක්ස් සහ බට්ලර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 130 කදී ලකුණු 110 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවමින් තරගය නවසීලන්ත පිලෙන් ඉවතට ඇදගෙන ගියහ.

කෙසේ වෙතත් එංගලන්ත ඉනිමේ 47 වැනි ඕවරයේ සිට කතාව තවත් වසර ගණනාවක් යනතුරු නැවත නැවතත් සිහිපත් කෙරෙනු ඇත.

පන්දු යවන්නන්ගේ සම්පූර්ණ පාලනයට නතුවූ නවසීලන්ත ඉනිමේදී නියමිත ඕවර 50 නිමාවේදී ලබාගත හැකිවූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 241 ක් පමණි. වැසිබර මෙන්ම අඳුරු කාලගුණික තත්ත්වයක් යටතේ පන්දුව හොඳින් දෝලනය කරමින් සිටි එංගලන්ත පන්දු යවන්නෝ පළමු වතාවට ලෝක කුසලානය දිනාගැනීමේ අවස්ථාව එංගලන්ත පිතිකරුවන්ට උදාකර දුන්නේ පන්දු රකින්නන්ගෙන් ලද විශිෂ්ට සහයෝගයෙනි.

ජොෆ්රා ආචර් විසින් යවන ලද අවසන් ඕවර පහේදී නවසීලන්ත පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 22 ක් පමණි. ඒ අතරවාරයේදී පිත්තටම යැවූ පන්දුවකින් කඩුල්ලක් දවාගැනීමටද ආචර් සමත් වූයේය. බාර්බඩෝස්හිදී උපත ලද ක්‍රීඩකයකු වන, තවමත් 24 හැවිරිදි ජොෆ්රා ආචර්, මෙතෙක් සහභාගි වී ඇති එක්දින තරග 13 න් තරග 10 ක්ම ලෝක කුසලාන තරග වෙයි.

තර්ජනයක් වෙමින් ආ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ගේ ඉනිම අවසන් කිරීමට ක්‍රිස් වෝක්ස් සමත් වූ නමුත් හෙන්රි නිකොල්ස් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කේන් විලියම්ස් සිය කණ්ඩායම ලකුණු 100 කඩයිමෙන් එපිටට කැඳවාගෙන ගියේය.

කාසියේ වාසිය දිනාගත් කේන් විලියම්සන් කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහරදීම තෝරා ගත්තේ වැසිබර, අඳුරු කාලගුණය ගැන තැකීමක් නොකරමිනි. තරමක් කොළ පැහැයට හුරුවූ තණතීරුවද එංගලන්ත පන්දු යවන්නන්ට උදව් කිරීමට සූදානමින් සිටි අතර පළමු ඕවර 10 නිමාවේදී නවසීලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 33 ක් පමණි.

“ඒක අමාරු තීරණයක්...කොහොම වුණත් මේ තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහර දෙන්නම වෙනවා..එත් ඒක ගැන වැඩි වැඩියෙන් හිතන්න ගියොත් අමාරුවේ වැටෙනවා” යයි කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව විලියම්සන් පැවසීය.

හෙන්රි නිකොල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේ යයි විනිසුරු කුමාර් ධර්මසේන මහතා විසින් නම්කරනු ලබන විට ඔහු ලකුණක් හෝ ලබා සිටියේ නැත. එහෙත් විතීවි ක්‍රමවේදයෙන් සිය කඩුල්ල බේරාගත් නිකොල්ස් අගනා අර්ධ ශතකයක් ලබාගත්තේය. පන්දු 77 කදී නිකොල්ස් ලබාගත් ලකුණු 55 ට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ඉනිමේ 22 වැනි ඕවරය නිමා වන විට නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වූයේ කඩුල්ලක් දැවී ලකුණු 103 කි. කඩුලු 9 ක් අතැතිව තිබියදී ඊළඟ ඕවර 28 ට මුහුණ දීමේදී සාර්ථක ප්‍රහරයක් ආරම්භ කිරීමේ අවස්ථාව නවසීලන්තය සතුව තිබුණේ නායක විලියම්සන් මෙන්ම හෙන්රි නිකොල්ස්ස පිටියේ සිටි බැවිනි. එහෙත් පන්දු 13 ක් ඇතුළතදී මෙම පිතිකරුවන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට ලයාම් ප්ලන්ක්ට් සමත් වූයේය. මෙම දැවීයාම් දෙක හේතුවන් නවසීලන්ත පිතිකරුවන්ගේ ගමන අඩාල විය.

තනි ලෝක කුසලාන තරගාවලියකදී නායකයකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ මහේල ජයවර්ධනගේ ලකුණු 548 වාර්තාව (2007 තරගාවලියේදී) තමන් සතුකරගැනීමට විලියම්සන් සමත් වූ අතර එය 575 දක්වා ඉහළ ගියේය.

දෙවැනි වතාවේදී පන්දුව බාරගත් මාක් වුඞ් සිය පළමු පන්දුවෙන්ම රොස් ටේලර් පිටියෙන් ඉවත් කළේය. පන්දුව කඩුල්ලට ඉහළින් ඇදි යන බවක් රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් තහවුරු වූ නමුත් ඒ ගැන විමසීමට විතීවි අවස්ථා නවසීලන්තය සතු නොවීය. එබැවින් විනිසුරු මාරියස් එරැස්මස් මහතාගේ තීරණය ක්‍රියාත්මක විය.

අද පෙරවරුවේදී පැවැති මඳ වර්ෂාවක් හේතුවෙන් තරගය ආරම්භ කිරීම විනාඩි 15 කින් ප්‍රමාද වූවත් එයින් ඇතිවූ හානියක් නොවීය.

 

 

සුපිරි ඕවරයෙන්...

..


අදහස් (0)

ලොවක හදගැස්ම නැවතූ සුපිරි ඕවරය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.