Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුපියල් කෝටි 5 1/2 ක කොරෝනා දානයක්

රුපියල් කෝටි 5 1/2 ක කොරෝනා දානයක්

යොහාන් භාසුර - 2020 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 5 කට (රුපියල් 50,500,000) අධික මුදලක් එහි සාමාජික ක්‍රීඩා සමාජ 55 කට මැයි මාසයේදී බෙදාදී තිබේ.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘කොරෝනා’ වයිරස් අවදානම සඳහා මේ වන විට රුපියල් කෝටි 10 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 1000 ක පමණ මුදලක් වැය කර තිබේ.  

‘කොරෝනා’ වයිරස් අවදානම නිසා ක්‍රීඩා සමාජ මුහුණ දී සිටි මුල්‍ය අර්බුදයෙන් ගැලවීම සඳහා මෙම මුදල් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම මුදල් බෙදාදීමේ අරමුණ ලෙස සඳහන් වේ.

පාලක ක්‍රීඩා සමාජ 29 කට සහ අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 කට මුදල් ප්‍රදානයේදී ක්‍රීඩා සමාජය සතුව ක්‍රීඩාංගණයක් සහ ක්‍රීඩා සමාජ ශාලාවක් තිබේද යන පදනම මත ඒ ඒ ක්‍රීඩා සමාජයට මුදල තීරණය කර තිබේ. එය එසේ වුවද ඇතැම් ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් එම ක්‍රමවේදයෙන් බැහැරව වැඩි මුදලක් ගෙවා තිබේ.  

පාලක ක්‍රීඩා සමාජ ලැයිස්තුවේ පළමු වැනියා වන බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩාංගණයක් සහ ක්‍රීඩා සමාජ ශාලාවක් තිබීම මත රුපියල් ලක්‍ෂ 15 ක් ගෙවා තිබේ. එහි පස්වැනි ස්ථානයේ සිටින හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා සමාජ ශාලාවක් නොමැති වුවද ලක්‍ෂ 15 ලබාදීම සම්බන්ධයෙන් සෙසු ක්‍රීඩා සමාජ ප්‍රශ්න කරති.

පාලක ක්‍රීඩා සමාජ ලැයිස්තුවේ අටවැනි ස්ථානයේ සිටින කොළඹ මැලේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩාංගණයක් සහ ක්‍රීඩා සමාජ ශාලාවක් යන සුදුසුකම් දෙකම තිබුණ ද ඔවුන්ට ලැබී ඇත්තේ රුපියල් ලක්‍ෂ 10 ක් පමණකි. මෙහිදී එම ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳව ද අවධානය යොමුකර ඇති බවද කියැවේ.


පාලක ක්‍රීඩා සමාජ 29 කට රුපියල් කෝටි 3.4 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 340 ක මුදලක් ලබාදී ඇති අතර එහිදී කොළඹ සියලුම සුපිරි ක්‍රීඩා සමාජවලට ලක්‍ෂ 15 බැගින් ලබාදීම කැපී පෙනේ.

අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 කට රුපියල් කෝටි 1.25 ක් හෙවත් ලක්‍ෂ 125 ක් බෙදාදී තිබේ. එහි ක්‍රීඩා සමාජ හයකට රුපියල් 750,000 බැගින් ද, සෙසු ක්‍රීඩා සමාජවලට රුපියල් ලක්‍ෂ 5 බැගින් ද, පිරිනමා තිබේ.

පළමු පෙළ තරගාවලියේ වියදම් සඳහා ‘ඒ’ කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්‍ෂ 130 ක් බැගින්ද පළමු පෙළ ‘බී‘ කාණ්ඩයේ තරගාවලියේ වියදම් සඳහා ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජයකට රුපියල් ලක්‍ෂ 90 ක් බැගින්ද මීට පෙර පිරිනමා තිබේ.  

කෙසේ වෙතත් වෙළෙඳ සේවා, ජනසතු සේවා, ආරක්‍ෂක සේවා සහ රාජ්‍ය සේවා යන ක්‍රීඩා සමාජ හතරට කිසිදු බේදයකින් තොරව රුපියල් ලක්‍ෂ 10 බැගින් ලක්‍ෂ 40 ක් ප්‍රදානය කර තිබේ.

‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් මුදල් දුෂ්කරතා යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් 25 කට සහ තණතීරු සහිත ක්‍රීඩාංගණ සතු ක්‍රීඩා සමාජ කීපයකටද රුපියල් ලක්‍ෂ 60 කට අධික මුදලක් පිරිනමන ලදි. ඒ අවස්ථාවේදීත්  කොළඹ සුපිරි ක්‍රීඩා සමාජවලට මුදල් හිමිවිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට රජයේ ‘කොරෝනා’ අරමුදලට රුපියල් ලක්‍ෂ 250 ක් පරිත්‍යාග කර තිබේ. ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයට පී.සී.ආර්. යන්ත්‍රයක් සහ එයට අදාල උපකරණ මිලදී ගැනීම සඳහා තවත් රුපියල් ලක්‍ෂ 150 ක් පරිත්‍යාග කරන ලද අතර පුහුණුකරුවන්ට, විනිසුරුවන්ට සහ සෙසු පිරිස්වලට ආධාර ලෙස රුපියල් ලක්‍ෂ 100 ක් කට අධික මුදලක් වැයකර තිබේ.
 
 


අදහස් (0)

රුපියල් කෝටි 5 1/2 ක කොරෝනා දානයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.