Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් වචනය තියයි

මැතිව්ස් වචනය තියයි

දමින්ද විජේසූරිය - 2021 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තරගයට පෙර කී ආකාරයෙන්ම, පිතිකරුවකු වශයෙන්, තමන්ගේ වගකීම කරට ගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට ශතකය නිසා හිස් ඔසවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (22 වැනිදා) සාර්ථක ලෙසින් නිමා කළහ. එංගලන්තයට එරෙහිව පැවත්වෙන තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් එයින් ලකුණු 107 ක හිමිකරුවා වී සිටියේය.

ජැක් ලීච්ගේ පන්දුවක් පොයින්ට් කලාපයට තල්ලු කරමින් තම 11 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා එංගලන්තයට අභියෝග කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තිබෙන බව අවවාදයට වඩා ආදර්ශයෙන්ම පෙන්වා දුන්නේය. දිනය පුරා, පැය 6 කට වැඩි වේලාවක් (විනාඩි 362 ක්) පිටියේ රැඳුණු මැතිව්ස් පන්දු 228 කට මුහුණ දෙමින් ඒවායින් 11 ක් හතරේ සීමාවට යැවීය.

ලකුණු 7 කට කඩුලු දෙකක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි මැතිව්ස්, ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්න සමගින් එක්ව දිවා ආහාරය දක්වා තම කණ්ඩායම නිරුපදි්‍රතව කැඳවාගෙන ආවේය. ටෙස්ට් පිටියේදී ළහිරු තිරිමාන්න සහ ජේම්ස් ඇන්ඩසන් මුණ ගැසුණු අවස්ථා 9 න් 7 කදීම ජයග්‍රාහකයා වී සිටියේ ඇන්ඩසන්ය. එහෙත් දිවා ආහාරය වන විට ඇන්ඩසන්ට සාර්ථකව මුහුණ දෙමින් ලකුණු  43 ක් ලබා සිටි තිරිමාන්න, දිවා ආහාරයෙන් පසුව මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම යළිත් වරක් ඇන්ඩසන්ගේම ගොදුරක් විය. මේ වන විට ටෙස්ට් තරග 9 කදී ඇන්ඩසන් විසින් තිරිමාන්න දවාගත් වාර සංඛ්‍යාව 8 කි.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක් එක්කළ මැතිව්ස් සහ චන්දිමාල් දෙදෙනා, පැය 3 කට වැඩි කාලයක් පුරා එංගලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත්කළහ.

මාක් වුඩ්ගේ පන්දුවකට ගැසූ හුක් පහරකින්, ඩීප් ෆයින් ලෙග් කලාපය හරහා පන්දුව හතරේ සීමාවට යැවූ මැතිව්ස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. චන්දිමාල් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූයේ වමතින් පා දඟ පන්දු යවන්නා වන ජැක් ලීච් හමුවේ ලබාගත් ලකුණු යුගළයකිනි.

දැඩි සූර්යතාපය හමුවේ වෙහෙසට පත් නොවී, වරින් වර පන්දුව අතට ගනිමින්, සාර්ථක පන්දු යැවීමක යෙදුණු මාක් වුඩ් විසින් කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුකර චන්දිමාල් දවාගන්නා ලදි. පිට ඉන්නට එපිටින් පතිත වූ පන්දුව තියුණු ලෙසින් පිතිකරුවා වෙතට දෝලනය වීම නිසා පිතිකරුවාගේ සිතිවිල්ල වුයේ එය පා ඉන්නෙන් ඉවතට ඇදී යන බවකි. ලෙග් ග්ලාන්ස් පහරක් ගැසීමට ගත් උත්සාහය වැරදී ගියෙන් පන්දුවට චන්දිමාල්ගේ පා ආවරණයේ වැදුණු අතර විනිසුරු කුමාර් ධර්මසේන මහතාගේ පැහැදිළි තීරණය වූයේ එය දැවී යාමක් බවයි.

සිය කඩුල්ල ආරක්‍ෂා කරගැනීමේ අරමුණ ඇතිව චන්දිමාල් එය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය වෙත යෙමුකළද විනිසුරුවරයාගේ තීරණය නිවැරදි වු බැවින් ශ්‍රී ලංකා පිලට විතීවි අවස්ථාවක් අහිමි විය.

පිට පිටම දෙවැනි වරටත් කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායක දිනේෂ් චන්දිමාල් කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. එහෙත් නායකයාගේ තීරණයෙන් ගතහැකිව තිබූ වාසිය මුහුදට වීසි කළ කුසල් ජනිත් පෙරේරා, අතිශය හිතුවක්කාර පහරක් කරා යමින් තමන්ගේ කඩුල්ල ඇන්ඩසන්ට පූජා කළේය.

පාදයේ වළලුකර ආබාධයක් නිසා පිට පිටම ටෙස්ට් තරග 3 ක් මඟහැරගත් ඕෂධ ප්‍රනාන්දු මුහුණ දුන් හතරවැනි පන්දුවේදීම ලකුණු නොලබා දැවී ගියේ ඇන්ඩසන්ට සිය 602 වැනි ටෙස්ට් කඩුල්ලත් පිරිනමමිනි. පිට ඉන්නට එපිටින් පතිත වී ඉහළ නැඟි පන්දුවට පිත්ත දැමීමට ගිය ඕෂධ, අහක ගිය පන්දුවක් තමන්ගේ කඩුල්ලට ඇදගත්තේය.

අද තරගයේ දෙවැනි දිනයයි. තරගය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

මැතිව්ස් වචනය තියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.