Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලන් - මෝගන් වාර්තාගත පිතිහරඹයක

මාලන් - මෝගන් වාර්තාගත පිතිහරඹයක

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් මාලන් (නොදැවී 103) සහ ඔයින් මෝගන් (91) එක්ව පැවැත්වූ වාර්තාගත සම්බන්ධතාවය හේතුවෙන් සත්කාරන නවසීලන්තයට එරෙහිව නැපියර්හී මැක්ලරන් පාර්ක්හිදී අද (8 වැනිදා) පැවැති සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 76 කින් ජයගැනීමට එංගලන්තය සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2 ක් ලෙස සමකර ගැනීමටද එංගලන්තය සමත්විය.

ඩේවිඩ් මාලන් සහ ඔයින් මෝගන් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 74 කදී ලකුණු 182 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ අතර එංගලන්තය වෙනුවෙන් පැවැත්වූ ඉහළම සම්බන්ධතාවය මෙන්ම විස්සයි20 තරගාවලි ඉතිහාසයේ පැවැති හොඳම සම්බන්ධතා අතර සිව්වැනි ස්ථානයද වන්නේය.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවි ලකුණු 241 ක් රැස්කළ අතර විස්සයි20 තරගයකදී එංගලන්ත කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වන්නේය. 2016 ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහිව හඹාගොස් රැස්කළ ලකුණු 230 මින් පෙර ඔවුන් විස්සයි20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූහ..

පන්දු 51 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 103 ක් රැස්කළ ඩේවිඩ් මාලන් එංගලන්තය වෙනුවෙන් විස්සයි20 තරගයකදී ශතකයක් ලබාගත් දෙවැනි පිතිකරුවා බවට පත්විය. අර්ධ ශතකය පන්දු 31 කදී ලබාගත් ඬේවිඞ් මාලන් ශතකය පන්දු 48 කදී සම්පූර්ණ කළේය. මින් පෙර ඇලෙක්ස් හේල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 60 කදී ශතකයක් ලබාගෙන ඇත.

විස්සයි20 ජාත්‍යන්තර තරගය 9 කට පමණක් සහභාගීවී ඇති ඩේවිඩ් මාලන් එහිදී අර්ධ ශතක 5 ක් සහ ශතකයක් ලබාගැනීමට සමත්වී ඇත.

ඩේවිඩ් මාලන්ට අනගි සහයක් ලබාදුන් ඔයින් මෝගන් පන්දු 41 කදී හයේ සහ හතරේ පහර 7 බැගින් එල්ල කරමින් ලකුණු 91 ක් ලබාගත් අතර විස්සයි20 ජාත්‍යන්තර දිවියේ ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වන්නේය. පන්දු 21 කදී අර්ධ ශතකය සම්පූර්ණ කළ මෝගන් එංගලන්තය වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකයට ඒ අනුව හිමිකම් කියනු ලැබේ.

මින් පෙර අයර්ලන්තයට එරෙහිව ඇෆ්ඝනිස්තානය විසින් අවසන් ඕවර 4 තුලදී ලකුණු 75 ක් ලබාගනිමින් තබාතිබූ වාර්තාව ලකුණු 76 ක් ලබාගනිමින් අලුත් කිරීමට එංගලන්තය සමත්විය.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තයට ඕවර 16.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 165 ක් පමණි.

ආරම්භක පිතිකරුවන්වූ මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ පන්දු 27 කදී ලකුණු 54 ක් රැස්කරමින් වේගවත් ආරම්භයක් ලබාගත්තද ගප්ටිල්ගේ දැවීයාමත් සමගින් නවසීදෑන්ත ඉනිම කඩාවැටීම ආරම්භවිය. මාටින් ගප්ටිල් පන්දු 214 කදී ලකුණු 27 ක් සහ කොලින් මුන්රෝ පන්දු 21 කදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 89 කට කඩුලු 6 ක් දැවී සිටියදී පිටියට පිවිසි නායක ටිම් සෝතී පන්දු 15 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 39 ක් රැස්කිරීමට සමත්විය.

මැට් පාකින්සන් සිය ඕවර 4 ලකුණු 47 කට සීමාකරමින් කඩුලු 4 ක් දවාගත් අතර ක්‍රිස් ජෝර්දාන් ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.

එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 241
(ටොම් බැන්ටන් 31, ඬේවිඞ් මාලන් නොදැවී 103, ඔයින් මෝගන් 91, මිචෙල් සැන්ටර් 32/2)

නවසීලන්තය - ඕවර 16.5 කදී සියලුදෙනා දැවී 165
(මාටින් ගප්ටිල් 27, කොලින් මුන්රෝ 30, ටිම් සෝති 39, මැට් පාකින්සන් 47/4, ක්‍රිස් ජෝර්දාන් 24/2)

 


අදහස් (0)

මාලන් - මෝගන් වාර්තාගත පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.