Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහින්දානන්දගේ ස්ථාවරය‘පාවාදීමේ‘ සිට ‘සැකය‘ දක්වා පසුබසී

මහින්දානන්දගේ ස්ථාවරය‘පාවාදීමේ‘ සිට ‘සැකය‘ දක්වා පසුබසී

editorial - 2020 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

(චම්පික ප්‍රනාන්දු)

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පෙර කණ්ඩායමට ක්‍රීඩකයන් එකතු කළේ තමන්ගේ අනුමැතියෙන් තොරව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළ විට, අවසන් මහ තරගය පාවාදුන්නේ යයි ඔහු කළ චෝදනාව සම්බන්ධයෙන් බොහෝ දෙනා විශ්වාස කළහ. එහෙත් හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයක් ඇතිවන ආකාරයේ ලියවිල්ලක් තමන් සතුව ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත පෙරේදා (28 වැනිදා) වාර්තා කළේය.

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සහ අංක එකේ දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් යන දෙදෙනාම 2011 අවසන් මහ තරගයට පෙර ආබාධයන්ට ලක්වූහ. ඒ හේතුවෙන්, අරවින්ද ද සිල්වා  මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම වමතින් වේග පන්දු යවන්නකුද වූ චමින්ද වාස් සහ දඟ පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිව් දෙදෙනාම ජාතික කණ්ඩායමට කැඳවූහ. මුත්තයියා මුරලිදරන් සහ සුරාජ් රන්දිව් දෙදෙනා අවසන් මහ තරගයට ක්‍රීඩා කළ නමුත් චමින්ද වාස් අවසන් මහ තරගයේදී ක්‍රීඩා කළේ නැත.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි, මෙම ක්‍රීඩකයන් සංචිතයට එකතු කිරීමට ලෝක කුසලාන තාක්ෂණික කමිටුවේ අනුමැතියද හිමිවී තිබිණ. මෙවන් තත්ත්වයක් තිබියදීත්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අලුත්ගමගේ මහතාගේ අනුමැතිය අදාළ ආදේශන සඳහා ඉල්ලා නොසිටි බව අළුත්ගමගේ මහතා කරන ප්‍රකාශය සැසඳෙන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.

“අවසාන මොහොතේදී ක්‍රීඩකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගත්තා..“
“එම ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනයෙන් හෝ අමාත්‍යාංශයෙන් කිසිදු අනුමැතියක් ලැබුණේ නැහැ.” යයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවාදුන්නේ යයි කරන ප්‍රකාශය සවිමත් කිරීම සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශ කර තිබිණ.

හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශය සත්‍යය නම්, ක්‍රීඩා නීතිය යටතේ අනිවාර්ය අවශ්‍යතාවයක් වන, ජාතික කණ්ඩායමක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමට
අපොහොසත් වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ තේරීම් කමිටුවට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ නොකළේ මන්ද යන ප්‍රශ්නය එතැනින් මතුවෙයි. එහෙත් 2011 අප්‍රේල් 30 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ අත්සනින් යුතුව ක්‍රීඩා ඇමතිවරයා වෙත යවන ලද ලිපියේ දැක්වෙන්නේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තේරීම් කමිටුව විසින් අදාළ පියවර අනුගමනය කරනු ලැබ ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන්නේද අප්‍රේල් 2 වැනිදා ඉන්දියාවට එරෙහිව මුම්බායි හි පැවති අවසන් මහා තරඟයට දින තුනකට පෙරය.

2011 මාර්තු 30 වන දින, එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටි නිශාන්ත රණතුංග මහතා විසින් අමාත්‍ය අලුත්ගමගේ මහතා වෙත යොමු කරන ලද ලිපියක දැක්වෙන්නේ “කණ්ඩායම් කළමනාකාරිත්වය හා තවත් තේරීම් කමිටු සාමාජිකයකු වූ ෂබීර් අස්ගරලි මහතා සමඟ සාකච්ඡා කර ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළත් කර ගැනීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි.

ඒ  වන විට රටින් බැහැරව සිටි ශබීර් අස්ගර්අලි මහතා සමග දුරකතනයෙන් සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබේ.  ක්‍රීඩකයින් දෙදෙනා ඉන්දියාවට සංචාරය කිරීම සහ පුහුණුවීම් සඳහා කණ්ඩායමට එක්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා එදිනම ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට අනුමැතිය දී තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම කණ්ඩායමේ සමබරතාවට අතිශය දැඩි බලපෑමක් ඇතිකළ සිදුවීමක් බව 2011 ශ්‍රී ලංකා පිලේ නායකයාව සිටි කුමාර් සංගක්කාර මහතා මීට සති කිහිපයකට ඉහතදී ඉන්දීය පුවත් පතකට ප්‍රකාශ කර තිබිණ. සංගක්කාර කියා සිටියේ මැතිව්ස්ගේ ආබාධය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහ තරගයේදී (කාසියේ වාසිය දිනාගත්තා නම්) පළමුවෙන් පන්දු යැවීම තේරා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් මැතිව්ස්ගේ ආබාධය හේතුවෙන් තමන්ගේ සැලසුම් වෙනස් කිරීමට සිදුවූ බවත්ය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී ඉතාම හොඳින් ක්‍රීඩා කළ මැතිව්ස්, ඕවර 6 ක් යවමින් නවසීලන්ත පිතිකරුවන් ලකුණු 27 කට සීමා කළ අතර පන්දු 18 කදී නොදැවී ලකුණු 14 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල අවසන් මහ තරගය දක්වාත් කැඳවාගෙන ගියේය.

මුම්බායි නුවරදී පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 274 ක් ලබාගත්තේය. මහේල ජයවර්ධන පන්දු 88  කදී නොදැවී ලකුණු 103 ක් ලබාගත් අතර තිසර පෙරේරා පන්දු 9 කදී ලකුණු 22 ක් ලබාගත්තේ සිය ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහරක්ද ඇතුළත් කරමිනි.

ලකුණු 275 ඉලක්කයක් කරා යමින් සිටි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්වූ විරෙන්දර් සෙවැග් (0) සහ සචින් තෙන්ඩුල්කාර් (18) දෙදෙනාම ලසිත් මාලිංගගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 31 කට දැවී ගියහ. එහෙත් ගෞතම් ගම්භීර් (97) සහ නායක මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 91) දෙදෙනාගේ පිතිහරඹය නිසා ඉන්දියානුවෝ කඩුලු 6 ක් අතැතිව අවසන් මහ තරගය ජයගත්හ.

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් වසර නවයකට පසුව ප්‍රශ්න කරනු ලබන්නේ මෙම තරගයේ ප්‍රතිඵලය සම්බන්ධයෙනි. පසුගිය සතියේදී හිටපු අමාත්‍යවරයා තම මතය සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක්ද කළේය. සැක සහිත ක්‍රියාකාරකම් 24 ක් විස්තර කරමින් පිටු හයක ලිපියක් තමා විසින් ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය. එහෙත් ක්‍රීඩා දූෂණ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට ඉදිරිපත් කරන ලද ලියවිලේලේදී, අවසාන තරඟයට අදාළව ඔහු විසින් කලින් ප්‍රකාශ කරනු ලැබූ පරිදි “විකුණන ලද” ස්ථාවරයේ සිට “සැක සහිත” තත්ත්වය දක්වා පසුබැසීම විමතිය දනවන්නකි.

“මගේ සැකය විමර්ශනය කිරීමට මට අවශ්‍යයි,”

“එවකට ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් එම චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් සහ පිටු හයක ලිපියක් මම පොලිසියට දුන්නා.” යයි අළුත්ගමගේ මහතා පසුගිය සතියේදී වාර්තාකරුවන්ට පැවසීය.

ඔහුගේ ප්‍රකාශයන් පිළිගත්, ගෞරවනීය ක්‍රීඩකයින්ට ගැටලු ඇති කර තිබේ. ඔහු මෙම ක්‍රීඩකයන්ව ප්‍රශ්නයෙන් ඉවත් කර ඇති බව කීවත්, මෙම තරගය හා සම්බන්ධ වූ සියලු දෙනා දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දියාවේ සැලකිය යුතු බලපෑමක් ඇති බැවින්, නිසි ලෙස විමර්ශනය නොකළහොත් මෙය දුරදිග යන ප්‍රතිවිපාක ගෙන දිය හැකි බව විශ්ලේෂකයෝ තර්ක කරති.


අදහස් (3)

මහින්දානන්දගේ ස්ථාවරය‘පාවාදීමේ‘ සිට ‘සැකය‘ දක්වා පසුබසී
  • Rata Perata Tuesday, 30 June 2020 06:45 AM

    මේ වගේ කෙනෙක් ගැන ඕවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    Reply 0       0

    Kris Tuesday, 30 June 2020 07:31 AM

    මේ ඡන්දයෙන්වත් ගොබ්බයින් එළියට දාන්න මහනුවර ඡන්ද දායකයෝ දැනගන්න ඕනෑ..

    Reply 0       0

    සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 July 2020 10:54 AM

    මේ ප්‍රශ්ණය මෙතරම් ප්‍රමාදවී ඉදිරිපත් කිරීම ගැන මට ඇතිවුනේ කුතුහලයක්. කෙසේ වුවත්, මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලොව පුරා සිටින්නා වූ, ක්‍රිකට් ලෝලීන්ගේ මනස සසල වෙන දෙයක් තමයි සිදුවන්නේ.. මෙහි මැතිවරණය හා සම්බන්ධව ජනතාවගේ මනස වෙනත් අරමුණක් කරා යොමුකිරීමේ යම් අරමුණක් තිබීමට නොහැකිද? අනේ මන්දා...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.