Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශය පළමු වරට ඉන්දියාව පරදවයි

බංග්ලාදේශය පළමු වරට ඉන්දියාව පරදවයි

editorial - 2019 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එදා මෙදා තුර විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය ඊයේ (3 වැනිදා) සමත් විය. ඒ දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දිල්ලිහිදී පැවැති පළමු තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 149 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. දක්ෂ පිතිහරඹයක නිතර වූ මුෂ්ෆිකුර් රහීම් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 8 ක් වන විට ආරම්භක පිතිකරු ලිටන් දාස් ලකුණු 7 කට දැවී ගියද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මොහොමඞ් මිතුන් (26) සහ සෞම්‍ය සාකර් (39) සමත් වූහ. එහෙත් යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ ශිකර් ධවාන් අතට උඩ පන්දුවක් දෙමින් නයීම් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

නයීම්ගේ දැවී යෑමෙන් අනතුරුව සාකර් සමග එක්වූ රහීම් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද, නායක මහමදුල්ලා සමග පන්දු 15 කදී ලකුණු 40 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 35 කදී වාර්තා වූ සාකර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් ලබාගත් අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 42 කදී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ශ්‍රෙයාස් අයියර් පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22 ක්ද, රාෂාබ් පාන්ට් පන්දු 26 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ බංග්ලාදේශ පන්දු යවන්නෝ තරගය පුරා ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත් වූ අතර එහිදී කඩුලු 2 බැගින් බිඳහෙළීමට අමිනුල් ඉස්ලාම් සහ ශෆියුල් ඉස්ලාම් සමත් වූහ.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 148
(ශිකර් ධවාන් 41, ලොකේෂ් රාහුල් 15, ශ්‍රෙයාස් අයියර් 22, රිෂාබ් පාන්ට් 27, කෘනාල් පාණ්ඩ්‍යා නොදැවී 15, වොෂිංටන් සුන්දර් නොදැවී 14, අමිනුල් ඉස්ලාම් 22/2, ශෆියුල් ඉස්ලාම් 36/2)

බංග්ලාදේශය - ඕවර 19.3 කදී කඩුලු 3 ක් දැවී 154
(මොහොමඞ් නයීම් 26, සෞම්‍ය සාකර් 39, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 60, මහමදුල්ලා රියාද් නොදැවී 15)


-036

 


අදහස් (0)

බංග්ලාදේශය පළමු වරට ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.